චන්ද්‍ර යානය සඳට මුවා වෙයි

‘ආටිමිස් 2’ මෙහෙයුම යටතේ සඳ බලා ගිය ‘ඔරායන්’ යානය සඳ වටා ගමන ආරම්භ කළ අතර,  යානය සහ පෘථිවිය අතරේ පණිවුඩ හුවමාරු මිනිත්තු 40 කට ඇණ හිටියේය. ඒ, යානය සඳේ අඳුරු පැත්තට යෑමත්, එය සඳට මුවා වීමත් සමගය. මිනිත්තු 40 කට පණිවුඩ හුවමාරුව නවතින බව නාසා ආයතනය පෙර දැනුම් දී තිබුණි.

සඳේ අඳුරු පැත්ත සියැසින් දැක ගැනීමට යානයේ සිටි ගගනගාමීන්ට හැකිවිය. ‘ආටිමිස් 2’ මෙහෙයුමට පෙර 1968 සහ 1972 දක්වා කාලයේ, සඳ බලා ගිය ඇපලෝ ගගනගාමීන් සඳුගේ අඳුරු පැත්ත දැක තිබේ.

සඳේ  අඳුරු පැත්ත නැතිනම් ඈත පැත්ත සියැසින් දුටු ඇපලෝ ගගනගාමීන් ගණන 24 කි. ඔවුන් අතරට ආටිමිස් 2 ගගනගාමීහු සිවු දෙනා ද එක් වෙති. ඒ අනුව, ගගනගාමීන් 28 දෙනකු සඳේ  අඳුරු පැත්ත නැතිනම් ඈත පැත්ත සියැසින් දැක ඇත.

1968 දී ඇපලෝ 8 මෙහෙයුමෙන් ප්‍රථම වරට සඳේ  අඳුරු පැත්ත දැකගත්තේ නාසා ගගනගාමීන් වන්නේ ෆ්‍රෑන්ක් බෝමන්, ජේම්ස් ලවල් සහ විලියම් ඇන්ඩර්ස්ය.