(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඇතුළු චීනයෙන් ණය ලබාගෙන ඇති රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයෙන් ණය සහන ඉල්ලා තිබීම හේතුවෙන් චීනයට තම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳ නැවත වරක් සිතා බැලීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ණය කොන්දේසි පිළිබඳ සහ ණය ගෙවීමට නොහැකි රටවල් සමඟ එකඟතාවයකට පැමිණෙන්නේ කෙසේදැයි ප්‍රසිද්ධ නොකරන ලෝකයේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය දෙන්නා වන චීනයට මේ හේතුවෙන් නව අභියෝගයක් මතුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

2000 වසරේ සිට 2017 වසර දක්වා චීනය ලෝකයේ රටවල් 165 ක් සඳහා ලබා දී ඇති ණය වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 843 ක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.ඉන් සියයට 5 කටත් වඩා අඩු ප්‍රමාණයක් පොලී රහිත ණය බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

මේ වන විට චීනය අප්‍රිකානු රටවල් 17 කට ලබා දී තිබු පොලී රහිත ණය 23 ක් මේ වනවිට කපා හැර ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය.