(මනෝප්‍රිය ගුණසේකර)

චීන ජාතිකයන් දෙදෙනකුට කොළඹ වරාය නගරය තුළදී අමානුෂික ලෙස පහරදී එක් අයකු ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනාගේ ඩී.එන්.ඒ.වාර්තා කැදවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා අද නියම කළේය.

ඒ සඳහා සැකකාර චීන ජාතිකයින් දෙදෙනා ලබන 11 වැනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

කොළඹ වරාය නගරය තුළදී චීන ජාතිකයින් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී එක් අයකු ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් වන බ්ලූකුයි හා ලෝහෙයි නමැත්තන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කොළඹ වරාය නගරය තුළදී චීන ජාතිකයින් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී එක් අයකු ඝාතනය කර ඔහුගේ මෘත දේහය වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් දමා රටින් පැන යෑමට උත්සහ කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත බව අධිකරණයට දැනුම් දුන්නේය. සිද්ධියට සැකකරුවන්ගේ ඇති සම්බන්ධය සෙවීම සඳහා ඔවුන්ගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට අවශ්‍ය වී ඇතැයි කී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සැකකරුවන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවසර ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාලව කළ මුලික විමර්ශන වලදී නඩු භාණ්ඩ කීපයක් තමන් භාරයට ගත් බවත් එම නඩු භාන්ඩ ලකුණු කර අද දිනයේදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද දැනුම් දුන් නිලධාරීහු සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර චීන ජාතිකයින් දෙදෙනාට චීන භාෂා පරිවර්තකවරියක මාර්ගයෙන් ඇමතූ මහෙස්ත්‍රාත්වරයා ‘යමක් පැවසීමට තියෙනවාද?’ යනුවෙන් විමසීය.

මහෙස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්ණයට වෙන් වෙන් වශයෙන් පිළිතුරු දුන් බ්ලූකුයි සහ ලෝහෙයි නමැති සැකකාර චීන ජාතිකයින් දෙදෙනා මරණය සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් ඊට පෙර සිදු වූ යම් යම් සිද්ධිමය කරුණු සම්බන්ධයෙන් තමන් වරද පිළිගන්නා බවත් පැවසුහ.