පොඩි මල්ලි, චූටි මල්ලි කියන්නෙ අද ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙන්නා හා හා පුරා කියලා ප්‍රේක්ෂකයන් හමුවට ආවෙ අපි නොදන්න Live එහෙමත් නැත්නම් අ.ල. වැඩසටහන හරහායි.
අපි නොදන්න Live කියන්නේ විනෝදය සිනහව පිරුණු අමුතුම ආරක් ගත් රූපවාහිනී වැඩසටහනක්. එදා එය කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් ලොකු කුඩා හැමදෙනා අතරම පොඩි මල්ලි, චූටි මල්ලි චරිත දෙක තදින්ම පැලපදියම් වුණා.
ඔවුන් දෙදෙනාගෙ ඒ කොමඩි වැඩ රූපවාහිනියට පමණක් සීමා වුණේ නෑ. ගුවන් විදුලිය හරහාත් රසික සිත් අතරට පැමිණියා. ඒ විතරක් නෙමෙයි. සූර පප්පා, කව්ද බෝයි, ස්කූබි ඩූ, ගාර්ෆීල්ඞ්, සූටිං මාටිං වැනි ජනප්‍රිය කාටූන් සහ ළමා චිත්‍රපටි කීපයක් ද හඬ කැවීම් ශිල්පීන් ලෙස මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද දායකත්වය සැපයුවා.
ඒ හැමදේ එක්කම ඉදිරියට යන මේ දෙන්නා අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි “අපි නොදන්න Live on stage කියන ප්‍රසංගය.
ඒ ගැන කියන්න චූටි මල්ලි වන සුනෙත් චිත්‍රානන්ද සැඳැල්ලට එකතු වුණා.
මොකක්ද මේ අලුතින්ම කරන්න සූදානම් වෙන්නෙ?
චූටි මල්ලි, පොඩි මල්ලි සජීවි හාස්‍ය ප්‍රසංගයක් කරන්න සූදානම් වෙන්නෙ. අපි මුලින්ම මේ ප්‍රසංගය කළේ ඕස්ටේ්‍රලියාවේ. පසුව නවසීලන්තයේ, ඩුබායි, එංගලන්තයෙ වැනි රට වල ඉදිරිපත් කළා. එතනින් පසුව ගිය අවුරුද්දෙ අප්‍රේල් වල B.M.I.C.H හිදී මේ ප්‍රසංගය පැවැත්වුවෙ. මෙහි තියෙන්නෙ චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි පැය දෙකක ටෝක් ෂෝ එකක්. Stand up කොමඩියක්. ඒ කියන්නෙ අපි දෙන්නගෙ කතාවක් තියෙන්නේ. ඒ සඳහා සපෝට් එකට අපි වීඩියෝ ක්ලිප් ටිකක් ප්ලේ කරනවා. පැය දෙකක් නොනවත්වා ප්‍රේක්ෂකයන්ට හිනාවෙන්න අවස්ථාව විදියට තමයි මෙය පවත්වන්නෙ. එහිදී අපි කතා කරන්නේ අපේ ජීවන රටාව ගැන. ජීවිතේ ගෙවන හැටි කොටස් 03කින් කතා කරනවා. ඊට අමතරව පොඩි සංවාදයක් තියෙනවා. මේ සඳහා ජනකත් සම්බන්ධ වෙනවා. ඔහුගෙත් පොඩි සංවාදයක් තියෙනවා.
ඇයි මෙවැනි ප්‍රංසගයක් කරන්න හිතුවෙ?
අපි මීට කලින් රූපවාහිනියෙ සහ ගුවන් විදුලියෙ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් අපිට වේදිකාවෙ මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න ලැබිලා නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් ආයතන වල සති අන්තයේ තියෙන උත්සව වලට සහභාගි වෙනවා. ඒවා ගොඩක් ජනප්‍රියයි. ගොඩක් කට්ටිය ඒවා කැමැත්තෙන් රස විඳිනවා.
ඒ වගේම තමයි අපි කවදාවත් ඩබල් මීනින් සහ අසභ්‍ය වචන අපේ වැඩසටහන් වල පාවිච්චි කරන්නෙ නෑ. කාටවත් අපහසුතාවයට පත්වන විහිළු කරන්නෙත් ණෑ. ඒ නිසා පුංචි අය ඇතුළු හැමෝටම වයස් භේදයකින් තොරවම මෙය නරඹන්න හැකියාවක් තියෙනවා.
මෙවැනි ප්‍රසංගයක් කරන්න මූලිකම හේතුව ?
අපිට මේ වගේ ප්‍රසංගයක් කරන්න ආරාධනා කළේ ඕස්ටේ්‍රලියාවෙන්. ඒ අපි නොදන්න Live වගේ ප්‍රසංගයක් හදාගෙන එන්න කියලා. ඉතින් අපි එවැනි දෙයක් හැදුවා. හදලා එහෙ ප්‍රසංගය පැවැත්වුණාම හොඳ ප්‍රතිචාරයක් තිබුණා. ප්‍රසංගයත් හොඳින්ම සාර්ථක වුණා. පස්සෙ අපි හිතුවා මේ තරමට ප්‍රසංගය සාර්ථක වුණ නිසා ලංකාවෙත් ප්‍රසංගයක් පවත්වන්න. එහෙම තමයි පටන් ගත්තෙ.
ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්න ඒ විහිළු හදාගන්නෙ කොහොමද?
ඒක ඉතින් මෙහෙමයි. සාමාන්‍ය ජීවිතේ ගොඩක් දේවල් ගැන අපි පාසල් යන කාලෙ ඉඳන්ම වගේ හැමදේකටම මොනව හරි දෙයක් කරන්න ගියොත් කොතන හරි ගෑවිලා තියෙන්නෙ හාස්‍යයනෙ. ඒ හාස්‍යය ගැන කතා කරන එක මගෙයි ගාමින්දගෙයි දෙන්නගෙම තිබුණා. ඒ වගේම
අපි ජාතික තරුණ සේවා සභාවෙ ඉගෙන ගත්තේ 1997 දී. ඉතින් ඒ කාලෙ ඉඳන් අපි විහිළු තහළු කරලා තමයි හිටියෙ. අපිට සෙට්වෙලා හිටපු යාළුවොත් ඒ වගේ. ඒ නිසා ඉබේම අපි ඒ විහිළුවලට අන්තර්ගත වුණා.
සුනෙත්ගෙයි, ගාමින්දගෙයි යාළුකමට දැන් කොච්චර කල්ද?
දැන් අවුරුදු 19 වෙනවා.
ඒ අවුරුදු 19 තුළ ප්‍රශ්න ඇතිවෙලාම නැද්ද?
නෑ කවදාවත්ම නෑ. මෙහෙමයි ඉස්සෙල්ලම අපි කරන්නෙ මොකක්ද කියලා දැනගන්න ඕනනෙ. අපේ හැම සම්බන්ධතාවයක්ම තියෙන්න ඕන කුමක් නිසාද? මම කියන්නෙ අපේ වැඬේදී විතරක් නෙමෙයි ජීවිතේ හැම සම්බන්ධතාවයකදීම විවාහයට වුණත් ඒක පොදු කාරණයක්.
අපි කෙනෙක්ව යම් කිසි දෙයකට සම්බන්ධ කරගන්නෙ අපිට වැඩක් තනියම කරගන්න බැරි නිසානේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන. අපිට තනියෙන් දෙයක් කරන්න පුලුවන් නම් කාවවත් සම්බන්ධ කරගන්න ඕන නෑනේ. කණ්ඩායම් වැඩකදී එයාගෙ යුතුකම් බල බලා ඉන්නෙ නැතිව තමන්ගේ යුතුකම් ඉටු කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
දෙන්නගෙම අදහස් එකට එකතු කරලනෙ නිර්මාණයක් කරන්නෙ. ඉතින් ඒ අදහස්වල දෙන්නට දෙන්නා විරුද්ධ වෙන අවස්ථා තියෙනවද?
නෑ, එහෙම වෙන්නෙ නෑ. අපි කරන්නෙ එක නිර්මාණයක්නෙ. අපි හිතමු වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරනවා කියලා. මම කීවොත් ඒකට මෙහෙම දෙයක් එකතු කරමු කියලා. ගාමින්ද කියන්නෙ ආ... ඔව් එහෙම ආවොත් ගැලපෙනවා නේද කියලා. ඒකට එකඟ වෙනවා. එහෙම නැතිව කිසි දේකට විරුද්ධ වෙන්නෙ නෑ.
අවසාන වශයෙන් ඔබ දෙදෙනාගේ ප්‍රසංගය ගැනත් මතක් කරමු.
පෙබරවාරි 27 කොළඹ මියුසියස් විද්‍යාලයෙ සවස 7ට එක ප්‍රසංගයක් තියෙනවා. 28 වෙනිදා නුවර පොල්ගොල්ලෙ NICD ශාලාවේ දී තමයි අනිත් ප්‍රසංගය පැවැත්වෙන්නෙ. අපිට කැමති අය ඉන්නව නම් 0117222121 යන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.
ධනූ විජේරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු හිනැස්සුවාට මේ දෙන්නටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. පාරෙ තොටේදි කොමඩි දදා යන්න උවමනාවක් නැහැනෙ. ඔබ දෙපලට සුභ පැතුම්. (නි)
අපි නොදන්නා ලයිව් වලට කලින් මේ දෙන්නා අරේ සහ මරේ කියලා ගුවන්විදුලි වැඩසටහනක් කලා. මම ඒකාලේ ඉඳන් මෙයාලගේ ෆෑන් කෙනෙක් .කොහොම උනත් මම සුබපතනවා .! (ර)
සුබ පැතුම්.! (ර)
නිර්මාණශීලි සුසංයෝගයක්. මමත් මේ දෙන්නගේ හොඳ රසිකාවියක්. උණුසුම් සුබ පැතුම්....! (නි)
හරි හරි මමත් සිරිපාල කියනදේ අහල මෙයාලට සුබ පතන්නම්කො. මට මෙයාලව මාසෙකට සැරයක් සැලෝන් එකේදී හම්බ වෙනවා. බකමුනෝ වගේ රවාගෙන යන්නේ නැත්නම් සිරිපාල මතක් කරා කියල කියන්න තිබුන. (බ)
නියම චරිත දෙකක්. සුභපතනවා.! (ර)
මමත් මේ දෙන්නට සුබ පතනවා වගේම අගය කරනවා. (ම)
ඒ දෙන්නත් සාමාන්‍ය මිනිස්සු. පාරේ යනකොට හම්බවෙන හැම කෙනෙක් එක්කම හිනාවෙන්න ගියොත් කොහොමද වැඩක් කරගන්නේ? මොනවා වුණත් කරන දේ හිරිකිතක් නැතුව රස වින්දනය කරන්න පුළුවන්. සුබ පැතුම් (නි)
හුගක් කලාකරුවන්ට අමතක වුන දෙයක් සිනහව, ඒ අතරින් තවත් කෙනෙක් අපේ විකට රජ (මියගිය), කවදාවත්ම පාරේ තොටේ හිනාවෙන්නේ නැහැ....එහෙම විකට කාරයන්ගේ ඇති වැඩේ කුමක්ද....? (බ)
අනේ පුද්ගලික ජීවිතයක් තිබුන කියල ගමේ මනුස්සයෙක් එක්ක හිනා වෙන්න බැහැ කියල අපි නම් අහල නැහැ. මෙයාලට වෙලා තියෙන්නේ ජනප්‍රිය වුණාට පස්සේ ඔලුව ඉදිමුණා. මෙයාලට වඩා ලොකු මිනිස්සු තමුන්ගේ රසිකයොත් එක්ක සුහදව ජීවත් වෙනවද? (බ)
අනුන්ව හිනස්සන්න කලින් තමුන් හිනා වෙලා ඉන්න ඕනේ. පාරේදී හම්බ වෙනවා. මුනේ හිනා පොදක් නැ. (ර)
අනේ නිම්මි තේරුමක් නැති දේවල් කියන්න එපා ,සුබ පතනවා ඔබ දෙපලට (බ)
නිම්මිට පරණ කෝන්තරයක් තියෙනවා වගේ මේ දෙන්නා එක්ක. හරිම සරල නිහතමානී දෙන්නෙක් කියලා තමා මම නම් දකින්නේ (නි)
නියම දක්ෂ මිනිස්සු (නි)
ඔබ දෙපලට සුබ පැතුම්. ඒ වගේම රටට ඔබ කරන සේවය ඉතා විශාලයි. ඒක අවතක්සේරු කරන්න එපා. ඒ වගේම බාල වචන පාවිච්චි නොකිරීමත් විශිෂ්ට දෙයක්. අපේ අනෙක් අය තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ දෙන්නටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඔවුන් හැම කෙනා සමගම හිනා වෙන්න, විහිලු කරන්න ගත්තොත් ඒක විහිළුවක් වෙනවා. ඔවුන්ගේ දූ දරුවන්, බිරින්දෑවරුත් විහිලු ලෙස දකිනවා. එබැවින් ඔවුන් ගරුත්වයක් තියාගෙන පාරේ තොටේ යාම සාධාරණයි. අනික අපේ රටේ මිනිස්සු තැනක් නොතැනක් නැතුව හැසිරෙන අවස්ථා එමටයි. මම හිතනවා ඔවුන් සාධාරණයි කියලා. (ර)