(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

තම දියණිය සමග යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයකුට මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ දී  මග හරස් කර ඇති මෝටර් රථයකින් පැමිණි තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී දෑත් කපා බරපතල තුවාල සිදු කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

දකුණු අත ශරීරයෙන් වෙන් වී යන ආකාරයට එම ප්‍රහාරය සිදු කර ඇති බවත් වම් අතට හා හිසට ද තුවාල සිදු වී ඇති බවත් මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

මීට වසරකට පමණ පෙර මැද්දවත්ත ජනරජ මාවතේ සිදු වු මනුශ්‍ය ඝාතන සිද්ධියක සැකකරුවකු වන තුවාලකරු එම සිද්ධියට ඇප ලබා ගෙන සතියකට ඉහත දී නිවසට පැමීණ තිබේ.

ඇප කොන්දේසි අනුව ඔහු මාතර පොලීසියට ගොස් අත්සන් කර නැවත තම දියණිය සමග නිවසට යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

ඊට සම්බන්ධ බවට සැක පිට පුද්ගලයකු මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ.

දෙපාර්ශ්වයක් අතර පවතින ආරවුලක් ඊට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.