(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර කාන්දුවීම, ගිනි ගැනීම හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනවලට අදාල තොරතුරු රැස්කිරීමේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ.

කිසියම් ප්‍රදේශයක ගෑස් සම්බන්ධ අනතුරක් සිදුවහොත් අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අදාල ගෑස් සමාගම ද, අදාල කොට්ඨාස බාර නිලධාරියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද, දැනුවත් කළ යුතුය.

පොලිස් විමර්ශනවලට සහාය වීම සඳහා ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම්වලින් නියෝජිතයා බැගින් ද පත්කර තිබේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම උපදෙස් පත්‍රිකාව සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, කොට්ඨාස භාර නිලධාරීන්ට සහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන්ට යොමුකර තිබේ.