(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බල පනතට අදාළ ගැසට් පත්‍රයේ ලංකාවේ නැති අකුරු වගයක් ඇතුළත්වන හෙයින් එම ගැසට් පත්‍රය අවලංගු කර වෙනත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කරන්නැයි  විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (8) ඉල්ලීමක් කළහ.

සිංහල භාෂාවෙන් ගහපු ගැසට් නිවේදනයේ තේරෙන්නේ නැති ඉංග්‍රීසි වචන තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය  හර්ෂද සිල්වා මහතා පැවසීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා.;

විදුලි බල පනත  පහ වැනිදා දිනයට ගැසට් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. හැබැයි එහෙම ගැසට් එකක් ගහලා නැහැ. පහ වැනිදා එහෙම ගැසට් පත්‍රයක් මුද්‍රණය වෙලා නැහැ. අද උදේ තුනට තමයි මේ ගැසට් පත්‍රය වෙබ් අඩවියේ  පළවෙන්නේ. දින හතක් ඇතුළත මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ 12 වැනිදා. එදින සිට දින 14ක් ඇතුළත තමයි නඩු පවරන්න තියෙන්නේ. එතකොට 28 වෙනවා. 28 වෙනකොට උසාවි නිවාඩු දීලා.

මේ පනත ගැන කිසිම වෘත්තිය සමිතියක් එක්ක සාකච්ඡා කළේ නැහැ.කිසිම පාරිභෝගික සමිතියක් එක්ක සාකච්ඡා කළේ නැහැ. මේක තවත්  ඩීල් එකක්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මේ පනත ගැන අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ.කමිටුවක සාකච්ඡා කළේ නැහැ.. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළේ නැහැ. අඩු තරමින් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැහැ. මේක මහා භයානක පනතක්. මෙහෙම ගැසට් කරලා අපිට නඩු දාන්න තියෙන අවස්ථාවත් වහනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවත් වහලා දැම්මට පස්සේ මොකද වෙන්නේ. පාර්ලිමේන්තුවත් වහලා උසාවියත් වැහුවට පස්සේ. මොකක්ද මේ කරන නාඩගම මේක සම්පූර්ණ වැරදි වැඩක්.

ජාතික ජන බලවේගයේ  නායක අනුර කුමාර දිසානායක මහතා

එතුමා මතු කරන ප්‍රශ්නය සාධාරණයි. ගැසට් එකේ සඳහන් වෙන්නේ පහ. නමුත් මේක වෙබ් අඩවියට ඇතුළත් කරන්නේ අද පාන්දර. සතියකට පස්සේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේක දහතුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ සති දෙකක් තියෙනවා අධිකරණයට යන්න. හැබැයි 15 අධිකරණයට නිවාඩු දෙනවා.15  වැනිදා අධිකරණයට නිවාඩු දුන්නට පස්සේ අපිට අධිකරණයට යන්න තියෙන කාලය ඉක්මවා යනවා.මේක ඉතා සැලසුම් සහගතව කළ  වැඩක්. පාර්ලිමේන්තුව අධිකරණය මගහැරීමට කරපු වැඩක්. පහ වැනිදා සිට සතියක් ගැනීම වැරදියි. අද සිට සතියක් ගන්න.

සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා :

තාම පළමු වර කියවීමට සභාගත කරලා නැහැ. ඊට පස්සේ තමයි දින දාහතර එන්නේ. මම මේ ගැන විදුලි බල ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා.

මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:

මේ සිංහල ගැසට් එකේ  ඉංග්‍රීසියෙන් තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඒ නිසා මේ ගැසට් එක අලුතින් ගහන්න. මේක නැවත සිංහල භාෂාවෙන් ගහන්න. අලුත් දිනයට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි ඉස්සරහට ගෙනියමු.

සභානායක;

කවදා ගැසට් එක ගැහුවත් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවසේ ඉඳලා තමයි දින ගණන් කරන්නේ.මේක සෑහෙන විවාද කළ යුතු පනතක්.

දයාසිරි ජයසේකර මහතා

ගැසට් එකේහයවෙනි ඡේදය බලන්න. එතන තියෙන්නෙ ලංකාවේ අකුරු නොවේ.  මේවගේ ගැසට් ගහලා මේ රටට කරන්න යන්නේ මොකක්ද.