(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ  පවුල් 331 ක 1250 ක් සාමාජික පිරිසක්  අධික වැසි ගංවතුර සුළං හා නායයාම් හේතුවෙන් දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇතැයි රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.

දිස්ත්‍රික්කයේ   නිවාස 2 පූර්ණ හානියට පත්ව ඇතිබවත් සහ අර්ධ  හානි සිදුවූ නිවාස 52ක් බවත්   දිස්ත‍්‍රික්ක ලේකම්වරිය  ප‍්‍රකාශ කළ අතර, වැසි සමඟ ඇතිවූ අධික සුළං තත්වයෙන් ගස් කඩා වැටීමෙන් පූර්ණ හානිය පත් නිවාස දෙක කහවත්ත වැල්ලඳුර සහ දුරෙක්කන්ද, ඉළුක්වත්ත ප‍්‍රදේශයේ දිඹුල්විටියේ   පිහිටි ග‍්‍රාමීය නිවාස බවත් සඳහන් කළේය.

දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස 10ක  ග‍්‍රාම නිලධාරී වසම් 51ක ජනතාව ගංවතුර සුළං හා නායයාම් අවදානම් තත්වයන් මත ආපදා තත්වයට මුහුණදී විවිධ දුෂ්කාරතාවයන්  ඇතිව තිබෙන බව රත්නපුර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කාර්යාලය පවසයි.

පූර්ණ හානි සිදුවූ නිවාස දෙක කහවත්ත සහ රත්නපුර ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි අතර, එම නිවාස දෙකම හානියට පත්ව ඇත්තේ අධික සුළං නිසා එම නිවෙස් මත ගස් කඩාවැටීමෙන්ය.  නිවාස හානි ආපදා  හේතුවෙන් දුෂ්කරතාවයන්ට මුහුණදී සිටින පිරිසට සහන සැලසීමට  සුරක්‍ෂිත මධ්‍යස්ථාන තුනක් ක‍්‍රියාත්මක වෙයි. දුරෙක්කන්ද ඥාණාධිවංශරාමය, අමුණුතැන්න බෝධිරුක්ඛාරාමය යන විහාරස්ථානවලද, ගලබඩ පල්ලියේ ද ක‍්‍රියාත්මක එම ආපදා සුරක්‍ෂිත මධ්‍යස්ථානවල පවුල් 8ක පිරිස 47ක් රැඳී සිටින බවට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට තොරතුරු ලැබී ඇතිබවත් දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුර ආපදා තත්වය පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අතර, රත්නපුර ඇතුළු දිස්ත‍්‍රික්ක හතකට නිකුත්කර ඇති නායයාම් අවදානම් තත්වය අද (19) පස්වරු දක්වා බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.