(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදාම් කිරිමට කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බව නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා පවසයි.
ඇඹිලිපිටිය නගරයේ මස් කඩයක් පවත්වාගෙන නොයාමට මීට පෙර පැවති නගර සභාව ගෙන තිබූ තීරණය ඒ අකාරයෙන්ම ඉදිරියටත් ක‍්‍රියාත්මක වන බව ද නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා කියයි.
පසුගිය මැයි 18දා පැවති නගර සභා රැස්වීමේ ලැබුණ ලිපි සභාවට දැනුම් දෙන අවස්ථාවේ දී මාලූ ව්‍යාපාරිකයෙක් ඔහුගේ ව්‍යාපාරය තුළ පැකට්කළ හරක්මස් විකිණීමට අවස්ථාව ඉල්ලා තිබූ බව පැවසුවේය.
‘‘සභාවට ලැබුණ සංදේශ සහ ලිපි යන ශීර්ෂය යටතේ මෙ ලිපිය සභාගත කළාම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ කණ්ඩායමේ කේ රුවන් පතිරණ, සරත් විතාරණ සභිකයන් ඇතුලූ කිහිප දෙනෙක් ඒ සම්බන්‍ධයෙන් අදහස් දැක්වූවා. ඇත්තටම එවැනි ලිපියක් ඉදිරිපත් වුණාම ඒ ගැන අදහස් දැක්විය යුතු නෑ. තවත් සභිකයන් කිහිප දෙනෙකුත් ඒ ගැන අදහස් දැක්වූවා.
මේවගේ ලිපි ලැබුණාම අපි ඒවා සභාගත කළ යුතුයි. උදාහරණයක් විදියට නගර වැසියෙක් තමන්ගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ගැන, අපි හිතමු බෙහෙත් ගන්න උපකාරයක් ඉල්ලලා කියලා, එවැනි ලිපියක් එව්වත් ඒක අපි සභාවට ඉදිරිපත් කරනවා. නමුත් විවාද කරන්නේ නෑ. එදා වුනේ ඒකට අදහස් දැක්වීමයි.
මම කරුණු පැහැදිලි කරන්න ඉස්සර ඒ අය මේ පැකට්කළ ගවමස් විකිණීම ගැන කතා කළා. ඒක යෝජනාවක් ලෙස ගන්න නම් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් විය යුතුයි. කෙසේ නමුත් ඇඹිලිපිටිය නගරයේ හරක්මස් වෙළඳමට මම නගර සභා සභාපතිවරයා ලෙස ඉන්නකම් ඉඩක් ලබාදෙන්නේ නෑ. යැයි ද සභාපතිවරයා පැවසුවේ ය.
ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළඳාමට ඉඩ නොදෙන බවට ආණ්ඩුකාරතුමිය පවසා තිබුණ ද එවැනි වෙළඳාමක් නොවන නිසා එතුමියගේ කතාවේ වලංගු බවක් නැතැයිද නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා පැවසුවේ ය. එමෙන් ම ආණ්ඩුකාරවරිය මේ සම්බන්‍ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ නියෝජිතයන් සමග මෙතක් කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ද සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු හාමුදුරුවෝ සියලු සත්වයන්ට කරුණාව මෛත්‍රිය දැක්වුවා. එතකොට ඇඹිලිපිටිය නගර සභාව ඇයි ගවයට විතරක් මේ අමුතු කරුණාවක් දක්වන්නේ. කුකුළට ඌරට එළුවට මාලුවටත් මේ කරුණාවම දක්වන්න පුලුවන්නේ.
ඇඹිලිපිටියේ බාර් වහන්න තීරණයක් ගත්තොත් නේද හොද...
ඇඹිලිපිටියට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්නේ නැතුව අනෙකුත් පළාත් බබාලත් ඔය නෑදෑයෝ ටික බේරගන්න ඉදිරිපත් වෙන්නකෝ. කාටද සන්තෝස.
අනේ !, අපි ගැනත් සලකා බලන්න - මීට එළුවෝ...
ඇයි ගවයට විතරක් මේ අමුතු කරුණාවක්? අනිකුත් සතුන්ට පන නැද්ද? හාල්මැස්සන් ග්‍රෑම් 100 ක් ගත්තොත්, ඔතන සතුන් කොච්චර නැතිවෙන්නේ? රට පුරාම බාර් පිරිලා. මත් පැන් වලින් පවුල් කීයක් අද කඩාකප්පල් වෙලා තියන්නේ?
ඇයි අපි පව් නැද්ද... මීට ඇඹිලිපිටියේ කුකුළන්ගෙ සංගමය.
නිකම් මස් කඩ කාරයින්ටයි, බාර් කාරයින්ටයි බැනල වැඩක් නැහැ. තමුන් වගකීම ගෙන මේ දේවල් බාවිතා නොකර සිටිය නම්, ඔය කියන දේවල් විකුණන කඩ නිකම්ම වැහිලා යයි.
ඇඹිලිපිටිය නගර සභාපතිට විතරක් මෙහෙම නීති දාන්න පුලුවන්ද. ඒක කරන්න ඕනි රජයෙන් ආණ්ඩුවෙන්. රජයකට අයිති දෙයක් මස්කඩ හෝ මස් කෑම තහනම් කිරීම.