(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිසිය සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් අද (13) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

රහුමාන් මහතා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල් අඟුරු කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. ඔහු කොමිසමට කැඳවා ඇත්තේ එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා යැයි  කොමිසමේ ලේකම් ඩී.වී බන්දුලසේන මහතා පැවසීය.

කොමිසම දැනට  60කට වැඩි පිරිසකගෙන්  ප්‍රකාශ  සියයකට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇත.

පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව  පත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරැ කටයුතු කරති.

බාල ගල් අඟුරු අානයනය   හේතුවෙන් රුපියල් කෝටි 223කට වැඩි පාඩුවක් සිදුව අැති  බව  විගණන වාර්තාවේ සඳහන් විය.