(දයාරත්න ඇඹෝගම)
ගල්යිපොසෙට් නිසා ලංකාවේ පිළිකා හා වකුගඩු රෝගයෙන් මිය ගිය එක් අයකු වෙනුවෙන් රුපියල් කෝටි දහය බැගින් (මිලියන සියයක්) වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (12)දින පැවසිය .
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේ ද පැවසිය.
ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ඇමරිකාවේ අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව පුර්වාදර්ශයට ගනිමින් ලංකාවේද ග්ලියිපොසෙට් කෘෂි රසායනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ලංකාවේ මේ වන විට ග්ල්යිපොසෙට් හේතු කොට ගෙන පුද්ගලයින් 25000 ක් පමණ මිය ගොස් සිටිනවා . මේ පිළිබඳව අප දිගින් දිගටම පර්යේෂණ සිදු කරමින් වකුගඩු හා පිළිකා සදහා මෙම කෘෂි රසායනය සෘජුව බලපාන බව පර්යේෂණ මගින් මනා ලෙස ඔප්පු කළා .නමුත් එය වගකිව යුත්තන් විසින් පිලි ගත්තේ නැහැ.
මේ අනුව පාර්ශව හතරක් සමඟ එක්ව මෙම නඩුව පැවරීමට තීරණය කළා.ඒ සදහා පර්යේෂණ කළ අයකු ලෙස තමන්ද ,ග්ල්යිපොසෙට් හේතු කොට ගෙන පිළිකා හා වකුගඩු රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ දරුවන්ද ,ගොවි සංවිධානද, දැනට රෝගය වැලදී ප්‍රතිකාර ලබමින් සිටින පිරිසද ඇතුළු පාර්ශව හතරක් මේ සදහා එකතු වී සිටිනවා.
ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම හා ලංකාවේ එහි නියෝජිතයන් මෙහි වග උත්තර කරුවන් ලෙස නම කර තිබෙනවා .මේ වන විට එම කටයුතු ආරම්භ කර ඇති අතර නඩු පැවරීම කඩිනමින් සිදු කරන බවද මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යතුමාට ජයවේවා !!!
ඔව් ..එ්ක හරි !!! හැබැයි මේ නඩුව ගොනුකලයුත්තේ .. මේවා පාවිච්චි කරපු ගොවීන්ට විරුද්ධවයි ..! රජයට විරුද්ධව නොවෙයි .. !
කරනවා නම් හොඳ වැඩක්. රටේ මිනිස් ජීවිත බිල්ලට දෙන අය මේකත් නවත්තන්න පුළුවන්.
මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව අනුව පිළිකා හැදෙන්න පුළුවන් මේ රසායනිකය නිසා. මම හිතනවා මේක හොඳ දෙයක් කියලා.
ඔබ වැනි විද්වතුන් අගය කළ යුතුමයි මහාචාර්යතුමනි...,
හොඳම හොඳ වැඩක්...
ඕස්ට්‍රේලියාවේ ඔය වගේ වෙලාවට ක්ලාස් ඇක්ෂන් කියලා සියල්ලන්ම වෙනුවෙන් නඩු දානවා. ඒ නඩු සඳහා පැමිණිල්ල වෙනුවෙන් කතාකරන නීති සමාගම්වලිනුත් හොයන්න පුළුවන් නම් හොඳයි. අපේ ලංකාවට බැරිකමට නෙවෙයි.. නමුත් මේ සමාගම් ඇස්බැස්ටෝස්, දුම් පානය කරන තැන රැකියා කළ අය වෙනුවෙන් සාර්ථකව නඩු කිව්ව නිසා අපේ රටටත් ඔබින අත්දැකීම් ඇති. ඒ නිසයි මේ ලියන්නේ.
මහාචාර්යතුමාලා කිවුවොත් ඔක්කොම හරි! ලඟදි අර පොදුපෙරමුනේ සුනන්ද මහාචාර්යතුමා දෙසා බෑවනේ ලංකාවට කුරුඳු ගෙනාවේ පෘතුගීසිකාරයෝ කියලා. එ්කත් ඇත්ත කොන්ඩේ බැඳපු සමහර උන්නැහේලාට. වකුගඩු රෝගීන්ගෙන් සීයට පනහක් ලෙඩ්ඩුන්ට තියෙන්නේ වෙනත් රෝගයක්ය කියලා සමහරු කියනවනේ. රබර්, තේ ගොවිතැන්වලට කෙලවිලා ග්ලයිෆොසේට් නැතුව කියලා සමහරු කියනවා. වෙනත් රටවල මේවා පාවිච්චි කරන්නේ නැද්ද? මේක මහ ප්‍රෝඩාවක් කියලයි මට හිතෙන්නේ. වෙනත් පළාත්වල වකුගඩු රෝගීන් නැද්ද? මගේම මස්සිනා මරුණත් වකුගඩු රෝගයකින්. මගේ අසල් වාසීන් දෙන්නෙකුටත් හැදුනා. ඒ මිනිස්සු ග්ලයිෆොසෙට් කියන ජාතිය හීනෙන් වත් දැකපු මිනිස්සු නෙමෙයි. බොරුකාරයෝ රැලක් මුළු රටම නොමග යවලා !
මේ මිනිසුන්ගේ වකුගඩු රෝගයට එකම හේතුව ග්ල්යිෆොසේට් කියලා ඔප්පුකරගන්න බැරි වුනොත් අපිට ඩොලර් මිලියන 500ක් වත් ඒ සමාගමට ගෙවන්න වෙයි.
මේ දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි වගෙයි. මග හිටියොත් තෝ නසියි ගෙදර ගියොත් අඹු නසියි කිව්වලු. ඔය රජරට පැත්තේ තමයි වකුගඩු රෝග වැඩියෙන් තියෙන්නේ. හොරණ ඉංගිරිය ප්‍රදේශවලත් මේ බෙහෙත් ගැහැව්වා.. තාම නම් ඒ තරම් නරක ප්‍රතිඵල දැනගන්න නැහැ. කොහොම වුණත් රසායන පාවිච්චිය නම් හොඳ නැහැ. පෙනඩෝල් වුණත් පාවිච්චි නොකරනවා නම් තමයි හොඳ. මේ පැත්තේ ලොකු මඤ්ඤොක්කා වගාවන්ට කොහොම හරි මේ බෙහෙත් හොයලා ගහනවා. ඒ අලවලටත් මේ විෂ උරා ගන්නවා ඇතිනේ. මිනිස්සු කෑමට ගන්නවා.
රුසියාව ,බ්‍රසීලය සහ සුවිස් ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක ග්ල්යිෆොසෙට් තහනම් කරලා තියෙනවා
මේ මහාචාර්යවරයාගෙන් මම එක එල්ලේ ප්‍රශ්නයක් අසමි. මේ ලියන මම නිකමට කොමෙන්ට් ගසන කෙනෙකු නොවේ. භාෂා දෙකක් හොඳින් උගත් තවත් භාෂා දෙකක දැනුම ඇති, හොඳින් පොත පත කියවූ, එමෙන්ම අවුරුදු 60 ක පමණ කාලක් තිස්සේ ලේඛන කලාවෙහි නිරත අයෙක්මි. ඔය කියන මලගිය ඇත්තන්ගේ මරණවලට ග්ලයිෆොසෙට් ම පාදකවූ බව ඔබ තහවුරු කර ගත්තේ කෙසේද? මොන්සන්ටෝ සමාගම අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක යෙදීමෙ තර්ජනයෙන් ඔවුන්ගෙන් කප්පමක් ගැනීමට අරමුණක් ඔබතුල ඇත්තේ යයි සැකයක් මට සිතෙයි! එසේ නම් එය කණපිට හැරෙන්නට ඉඩ ඇති බවද කරුණාකර මෙනෙහි කරන්න.
ඔබ වහා කැලිෆෝනියාවට ගොස් එහි ජූරි සභිකයන්ට විද්‍යාව කියා දෙන්න. ලංකාවේ අහිංසක මිනිසුන්ව රවටන පිස්සු කතා නොකියා ඉන්න.
ජිවිත 25,000 ක් උදුරාගත් බව පැවසෙන ග්ලයිෆොසේට් පිළිකා කාරක යැයි පවසන්නේ ඒ පිලිබඳ පරීක්ෂණ කළ විද්වතුන් මිස ගොවියන් නොවේ. එය එසේ නොවේනම් ඒ පිළිබඳ සහතිකයක් ලබාදීමට අනෙක් පාර්ශව කටයුතු කළයුතුය. මියගිය සංඛ්‍යාව එවැනි හේතුවකින් නොව වෙනත් හේතුන් නිසා මියගිය බව තහවුරු කළයුතුය. ග්ලයිෆොසේට් රැකගැනීමට මහාචාර්ය තුමාට හෝ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන උගතුන්ට අවශ්‍යතාවයක් තිබිය නොහැකිය. සමහර මත දක්වන්නන් විදේශ රටවල් නම් කරමින් ඉදිරිපත් කරන කරුණු මහාචාරයවරයා නොදන්නවා විය නොහැකිය. වීපතට පත් අහිංසක ජිවිත සහ පිඩාවට පත් එම පවුල්වල සාමාජිකයින්ගේ ජීවිතවලට වඩා කෘෂි රසායනය රැකීමට පෙළ ගැසෙන්නේ දේශපාලන බලයෙහි නිර්දය ස්වභාවය නිසාය. දේශපාලන උඩඟුකම ඉවසිය නොහැකිව උද්ඝෝෂණ මතුවුවත් ඊට ඉහළින් ගොරහැඩි දේශපාලනය මතුවෙයි. ඔවුන් කතා කරන්නේ වචනවලින් නොව කෘෂි රසායනික ඒජන්තයින්ගේ මුදල්වලිනි. ගොවි ජනතාව අසල කිසියම් බියකරු විපතක් සැඟ වී ඇති බව පිළිනොගන්නේ එහෙයිනි.
මා මගේ ප්රශ්නය යොමු කලේ මහාචාර්යතුමාට මිස එතුමා වෙනුවෙන් ඉදිරිපත් වන තෝල්කයන්ට හෝ ඇම්බට්ටයන්ට නොවේ. මෙය ඕනෑම කෙනෙක් කියන ඕනෑම දෙයක් පිලි ගන්න විචාර බුද්ධියෙන් හීන, එමෙන්ම බල්ලන්ගේ වැඩ බූරුවන් භාර ගන්න රටක් බව මම හොඳින් දනිමි. බෝධි සහ කලණිද එයට නිදසුන් සපයති. මහාචාර්යතුමා නඩුව දිනන තුරු කට ඇරගෙන බලා ඉන්න කියනවාට වඩා ඔබ වැන්නන්ට කිව හැකි වෙනත් දෙයක් අපට නැත....!