(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට හෙට (6) ඉදිරිපත් කෙරේ.

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට  අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ  මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව ඊට අනුමැතිය ලබා දුන්නේය.

රජයේ  මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය  (02) වෙනිදා රැස්විය.

මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

මෙම රෙගුලාසි සදහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවුවද   එම අනුමැතිය ලබා දෙන්නේ  කොන්දේසි සහිතව  බවද   කාරක සභා සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ වැවිලි භෝග සම්බන්ධයෙන්  ග්ලයිෆෝසේට් භාවිතය පිළිබදව  පිළියෙල කරන ලද වාර්තාව පිළිබද පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගතයුතු බවද  හර්ෂ ද සිල්වා මහතා  පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍ය  විදුර වික්‍රමනායන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  විජිත හේරත්, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,  ආචාර්ය සුරේන් රාඝවන්,  එම් ඒ සුමන්තිරන්,  හර්ෂණ රාජකරුණා,  චමින්ද විජේසිරි, අනුප පැස්කුවල් සහ  මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු  සහභාගී වූහ.

එසේම මුදල් අමාත්‍යාංශය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය යන ආයතනවල නිළධාරීන්ද මෙම රැස්වීමට සහභාගී වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු  මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ සම්බන්ධවූහ.