(ඩයනා උදයංගනී) 

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්විය යුතු බවට බලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති අඛණ්ඩ විරෝධතාවට අදට (2) දින 24 ක් සම්පූර්ණ විය.

දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ද එම ස්ථානයට පැමිණ සිටියහ.

ගිරිඋල්ලේ සිට පා ගමනින් පැමිණි ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ හිටපු නායක දිනිඳු සපරමාදු ඇතුළු පිරිසක් ද අද (2) උදෑසන අරගල භූමියට පැමිණ එම විරෝධතාවට එක්වූහ.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත් විය යුතු බව සඳහන් සටන් පාඨ ඇතුළු විවිධ සටන්පාඨ හා ජාතික ධජ රැගෙන සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අවට ද විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි සර්වාගමික නායකයන්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරිකයන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, මාධ්‍යවේදීන්, ආබාධිත රණවිරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විද්වතුන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මෙම විරෝධතාවට එක්ව සිටිති.

කුඩා දරුවන් පවා රැගෙන ජනතාව මේ සඳහා එක්ව සිටින අතර විරෝධතාකරුවන් එහි පුස්තකාල, ප්‍රථමාධාර ඒකක, මාධ්‍ය ඒකක ආදියද ස්ථාපිත කර ඇත.

විරෝධතා භූමිය අසලින් වාහනවල ගමන් කරන පිරිස් රථවාහනවල නළා ශබ්ද කරමින් විරෝධතාකරුවන්ට සහාය පළ කරනු ද දක්නට ලැබිණි.