(අංජුල මහික වීරරත්න)

ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.

ගුරු සේවයේ වැටුප් පියවරෙන් පියවර වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අමාත්‍යවරයා කීය. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වනාතවිල්ලුව, නාගමඩුව මහා විද්‍යාලයේ  නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

රටේ පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාද වී තිබූ ගුරු බඳවා ගැනීම් කටයුතු මේ වසරේදී කඩිනම් කර ඇති බවත්, ඒ අනුව ගුරුවරුන් දහසකට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි දිනවල එම තරග විභාග පවත්වන අතර කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විභාග සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම් වූ විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම්  කරන බව ඔහු අවධාරණය කළේය.