(රංජිත් රාජපක්ෂ)    
                    
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නාය ගොස් එක් වෙළඳසැල් සේවකයෙකු අතුරුදන් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
 
අද (19) අලුයම 2 ට පමණ මෙම නාය යාම සිදු ව ඇත.
 
ගිනිගත්හේන පොලිසිය අසළ ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙසේ නාය ගොස් ඇත.
 
ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවදානමක් පැවතීම හේතුවෙන් පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොළ දක්වා මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
 
එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොළ හරහා ප්‍රධාන මාර්ගයට ධාවනය කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
 
නායයමට ලක් වූ වෙළඳසැල්වලට අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට ප්‍රථම හඳුනාගෙන එම වෙළඳසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදි  දැනුම් දී තිබිණි.
 
අතුරුදහන් වූ සේවකයා සොයා යුද හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.