(තුසිත කුමාරද සිල්වා)

ප්‍රවේශපත්‍ර අලෙවි කර ලාභ ලබන වාණිජ සංගීත සංදර්ශනවලදී පමණක් ගීත රචකයන්ට සහ සංගීත නිර්මාණකරුවන්ට ගෙවීම් සිදු කිරීම අදාළවෙනවා, හෝටල්වල හෝ මංගල උත්සවවල ගීත ගායනා කිරීම වෙනුවෙන් මුදල් අය කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ යයැයි   අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අලුත්ගම සිනමන් බේ සංචාරක හෝටල් උත්සව ශාලාවේ අවසන් දින උත්සව සභාව අමතමිනි.

බුද්ධිමය දේපළ පනත සහ ගීත හිමිකම් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වූ කතාබහ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලෝකයේ මෙන්ම මෙරට බුද්ධිමය දේපළ නීතියට අනුවද ගීතයක සැබෑ අයිතිය පවතින්නේ එම ගීතයේ රචකයා සහ සංගීත නිර්මාණකරුවා සතුවයි.

විවිධ ගායක ගායිකාවන්  එම නිර්මාණ ගායනා කළද, නිර්මාණකරුවන්ගේ බුද්ධිමය හිමිකමට සාධාරණ වටිනාකමක් හිමිවිය යුතු බවට ගීත රචකයන්ගේ සහ සංගීතඥයන්ගේ සංගමය දීර්ඝ කාලයක සිට සාකච්ඡා කරමින් සිටින බව හෙතෙම පැවසීය.

හෝටලයකදී ගීතයක් ගැයීම හෝ වාදනය කිරීම, මංගල උත්සවයකදී හෝ වෙනත් සාමාන්‍ය උත්සවයකදී ගීතයක් ගායනා කිරීම වෙනුවෙන් මුදල් ගෙවිය යුතු බවට කිසිදු නීතියක් නැහැ  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යවන සුළු වැරදි මතයක් සහ ප්‍රචාරයක් ගෙන ගියා යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.