
(ඩයනා උදයංගනී)
ප්‍රමාණවත් තරම් එළවළු තොග නොමැතිවීම සහ තිබූ එළවළුවල මිල අධිකවීම හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපලේ අලෙවිසැල් බොහොමයක් අද (22) පෙරවරුවේ සිට වැසී ගොස් තිබීමෙන් එය පාළුවට ගොස් තිබිණි.
එළවළු මිලදී ගැනීමට පැමිණි ගැණුම්කරුවන්ගේ ද අඩුවක් පැවති අතර ඒ හේතුවෙන් අද දහවල් වන විට එහි කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිටි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
නුවරඑළියේ ගොවීන් ඊයේ (21) එහි ආර්ථික මධ්‍යස්ථානය වසා දමා උද්ඝෝෂණයක නිරතවීම හේතුවෙන් මැනිං වෙළඳපල වෙත පැමිණි උඩරට එළවළු අස්වනුවල කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණු බව සී/ස සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක සහ මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති එච්.එම් උපසේන මහතා පැවසීය.
මේ හේතුවෙන් මැනිං වෙළඳපලෙහි ලීක්ස්, කැරට්, ගෝවා, බීට්රූට්, බෝංචි, සළාද කොළ, කොත්තමල්ලි කොළ ආදියේ දැඩි හිඟයක් පැවති බව ඔහු සඳහන් කළේය.
ඒවා අලෙවි වූයේ ද ඉහළ මිල ගණන් යටතේ ව කී උපසේන මහතා ලීක්ස් කිලෝවක් රුපියල් 500ක්, කැරට් කිලෝවක් රුපියල් 400ක්, බෝංචි කිලෝවක් රුපියල් 300ත් 400ත් අතර මිලකට, බෝංචි කිලෝවක් රුපියල් 300ක් 400ක් අතර තොග මිල ගණන්වලට අලෙවි වූ බවත් අනෙකුත් එළවළු වර්ගවල මිල ද ඉතා ඉහළ ගොස් තිබූ බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව කරවිල කිලෝවක් රුපියල් 450ක්, මෑ කිලෝවක් රුපියල් 300ක් සහ පතෝල කිලෝවක් රුපියල් 250ක් වැනි තොග මිල ගණන් යටතේ අලෙවි වූ බව ද ඔහු පැවසීය.
වෙළඳපලක එළවළු වෙළඳාම සාර්ථකමට නම් සියලු එළවළු වර්ග සමබරව ලැබිය යුතු බව කී සභාපතිවරයා තමන්ට අවශ්‍ය සියලු එළවළු වර්ග මිලදීගත නොහැකි නම් ඒ වෙත ගැණුම්කරුවන් නොපැමිණෙන බව ද කීවේය.
එමෙන්ම වර්තමානයේ පවතින මිල ගණන් අනුව එළවළු වර්ග හතරකින් ග්‍රෑම් 250 බැගින් ලබාගැනීමට රුපියල් 1,000ක පමණ මුදලක් අවශ්‍ය බව කී උපසේන මහතා එතරම් මුදලක් වියදම් කිරීමේ හැකියාවක් වර්තමානයේ පාරිභෝගිකයන්ට නොමැතිවීමෙන් ද අලෙවිය පහළ ගොස් ඇතැයි සඳහන් කළේය.
මේ අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ද එළවළු තොග යම් ප්‍රමාණයකට ලැබී තිබූ නමුත් ඒවා ද අලෙවි වූයේ ඉතා ඉහළ මිල ගණන් යටතේය.
ඒ හේතුවෙන් ඒ වෙත එළවළු මිලදී ගැනීමට පැමිණි ගැණුම්කරුවන් සංඛ්‍යාව ඉතා අඩුවීමෙන් එය ද පාළුවට ගොස් තිබිණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




(ඡායාරූප: ගයාන් අමරසේකර)
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වසවිෂ වලින් කොහොමද අපේ රට ගලවාගන්නේ...? කෲර ලෙස මිනිසුන් ඉල්ලන්නේම ඒවා...