(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.

එම මධ්‍යස්ථාන සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය සඳහන් කරයි.

රාත්‍රී කාලයේ දී විවෘත කර තිබෙන මෙම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායට දිගින් දිගටම ලද තොරතුරු හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම් සිදු කළ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

අදාල වැටලීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් සහභාගී වී ඇති අතර පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් එම ස්ථාන ගණිකා මධ්‍යස්ථානය ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් බහුතරයක් කාන්තාවන් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් කොළඹ රැකියාවන්වලට පැමිණ අමතර ආදායමක් උපයාගැනීම සඳහා රාත්‍රී කාලයේදී මෙම මධ්‍යස්ථානය කරා සේවය ලබාදී මුදල් ඉපයීමට පුරුදු වී සිටි අය බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.