(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අරගලය කාලේ තම ගේ ගිනි තියන්න ආ කෙනෙක් එහි සිට සෙල්ෆි ගසා දැන් කැනඩාවේ  පදිංචියට ගොස් සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමහරුන් විදේශ රටවල සරණාගත වීසා ලබා ගැනීමට අරගලය  පාවිච්චි කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා තම ගේ ගිනි තැබූ තැනැත්තා  දැන් නැවත මේ රටට එන්න බැරි බව ඒත්තු ගන්වා එහි ම ඉන්න උත්සාහ කරන බව සඳහන් කළේය.

බුද්ධි ගලනය යන වචනය තමා ඉගෙන ගත්තේ හතේ පන්තියේදී බවද බුද්ධි ගලනය අද ඊයේ පටන් ගත්ත දෙයක් නොවේ යැයිද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා බුද්ධි ගලනය විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබෙන බව කීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන්  රට හැර යාමේ  ප්‍රවණතාවය පිළිබඳව සභාව කල් තැබීමේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.