(රෝෂන් තුෂාර)

කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71 ක වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර ප්‍රසිද්ධ සමාගමකට විකිණීමට ආධාර අනුබල දී පැමිණිල්ලේ ප්‍රධාන සැකකරුගෙන් සුඛෝපභෝගී වාහන 7ක් සහ රුපියල් ලක්ෂ 565 මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නුගේගොඩ වාහන වෙළෙඳ ව්‍යාපාරිකයකු ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නුගේගොඩ ශාන්ත විතාන ගමගේ නමැති ව්‍යාපාරිකයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කොළඹ 07 බාන්ස් පෙදෙස පර්චස් 71.97 බිම් කොටසක් හොර ඔප්පු සාදා කුණු කොල්ලයට විකිණීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් වන මෝටර් රථ දහවන ශූර දිලන්ත මාලගමුව , ඩෙස්මන්ඩ් අමරසිංහ, සමන් ජයවීර යන පුද්ගලයන්ට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ හොර ඔප්පු සාදා ඉඩම විකිණීමේ නඩු කටයුතුවලට ඇටෝනි බලකරු ලෙස මුදල් යෙදවීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවය.