(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) ප්‍රතිපත්ති සහ පාලන රාමුව ශක්තිමත් කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ශ්‍රි ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාර්ටින් (Ms. Isabelle Martin) මහත්මිය ඇතුළු නියෝජිතයෝ සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රමුඛතා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු පැහැදිලි කළේය. 

මෙරට බුද්ධි ගලනය වැලැක්වීම, නව ව්‍යවසායකයින් (Startups) රැක ගැනීම සහ ශ්‍රම බලකාය නව තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම හරහා අපනයන ආදායම ඉහල නැංවීම රජයේ අරමුණ බව ඔහු අවධාරණය කළේය.

මෙහිදී කැනඩාවේ Al නියාමන අත්දැකීම් පෙන්වා දුන් ඇඩම් බල්වන්ට් මහතා පුරවැසි දත්ත ආරක්ෂා කරමින් සදාචාරාත්මක ලෙස තාක්ෂණය භාවිත කරන ආකාරය සහ සයිබර් ආරක්ෂණයේ වැදගත්කම පෙන්වා දුන්නේය. Al සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම මගින් තිරසාර අනාගතයක් ගොඩනැගිය හැකි බව ඔහු සඳහන් කළේය.