(අංජුල මහික වීරරත්න)

‘අර්නාබ්’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී, අතුරුදහන්ව සිටි “IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් ධීවර කාර්මිකයින් සිව්දෙනා පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.

සිව්දින ධීවර කටයුත්තක් සඳහා පසුගිය ඔක්තෝබර් 21 වන දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය මෙම යාත්‍රාවේ ඩබ්ලිව්. පී. ප්‍රියන්ත, පී. බී. නිමල්සිරි, එල්. වයි. නෞෂ්ක සහ යාත්‍රා හිමිකරු ද කේ. එච්. සවිඳු යන ධීවරයන් මෙලෙස හමුවී තිබේ. අර්නාබ් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ සුළං සහ රළු මුහුදු තත්ත්වයට හදිසියේ මුහුණ දීම නිසා මොවුන්ගේ යාත්‍රාව සහ ගොඩබිම සමඟ තිබූ සියලු සන්නිවේදන සබඳතා ඇනහිට තිබුණි.

යාත්‍රාව පිළිබඳ තොරතුරු නොමැති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට වාර්තා වූ වහාම, අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ එම මුහුදු කලාපයේ ගමන් ගත් අනෙකුත් ධීවර යාත්‍රා ඒකාබද්ධ කරගනිමින් විශේෂ සෙවීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.

එම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් වූ සාගර කලාපයේදී අදාළ යාත්‍රාව සොයාගැනීමට හැකි වූ අතර, මේ වන විට යාත්‍රාවේ සිටි සියලුම ධීවරයින් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරමින් පවතී.

ඔවුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, අවශ්‍ය මූලික වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රථමාධාර ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇතැයි අමාත්‍යංශය කියයි.

මෙම මුදාගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, වෙරළාරක්ෂක බලකායටත්, සහයක් දැක්වූ සමස්ත ධීවර ප්‍රජාවටත් ස්තුති කරන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.