(අංජුල මහික වීරරත්න)

පසුගිය වසර එකහමාරක කාලයේ කාර්යක්ෂම, විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යාමට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ කොළඹ, මහනුවර, ගාල්ල ජාතික රෝහල් ත්‍රිත්වයේ අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් නවදෙනෙකු පත් කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන රැසක දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පිරවීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය මැයි මස සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම බඳවා ගැනීම් සිදුකිරීමට අදාළ කටයුතු සිදු කෙරුණි.

වසර 7-8 ක් වැනි දීර්ඝ කාලයක් මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පුරප්පාඩුව පැවතීම හේතුවෙන් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පරිපාලන සහ කළමණාකරන කටයුතු අඩාලවීමට ද එය හේතුවක්ව පැවතිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ඒ යටතේ පාලනයවන රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු මෙම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් සහිත නිලධාරීන්වන අතර ඔවුනට හෙට සිටම ක්‍රියාත්මකවන පරිදි මෙම පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.