(අංජුල මහික වීරරත්න)

කිසිසේත් විදුලි කප්පාදුවකට යාමට රජය සූදානම් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22) පැවසීය.

රජයේ පරමාර්ථය විදුලි අඛන්ඩව සැපයීම බව කී අමාත්‍යවරයා වඩා ලාභදායී විදුලි ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරමින් තත්ත්වය කළමනාකරණය කරන බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

2025- 26 ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී නියමිත විදුලි ප්‍රමාණය උත්පාදනය නොවීම නිසා මතුවන ගැටලුව ජනතාව මත පටවන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසම පැහැදිලිව කියා තිබෙන බව කී අමාත්‍යවරයා රජයේ ස්ථාවරයත් එය බව පැවසීය.

"ජනාධිපතිවරයාත් එය පවසා තිබෙනවා.අදාළ සමාගම් වලින් දඩ අය කර ගැනීමේ හැකියාව තිබෙනවා.දඩ අය කර ගැනීම ප්‍රමාණවත් නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.මහා භාණ්ඩාගාරය හෝ ජනතාව මේ බර දරාගැනීමට සූදානම් නැහැ" යනුවෙන්ද නලින්ද ජයතිස්ස මහතා එහිදී කීය ගීය.