(අංජුල මහික වීරරත්න)

කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමේ ණය යෝජනා ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, වසර 5 ක් තුළ ව්‍යවසායකයින් 50,000ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් හා මග පෙන්වීම් ලබා දීමට රජය විසින් පියවර ගත යුතුව ඇත.

ඒ අනුව, 2025 අයවැය යෝජනාවක් මඟින් එම අරමුණ ළඟා කර ගැනීමේ එක් පියවරක් වශයෙන් සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500 ක අරමුදල් වෙන් කරන ලදී. 

කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා එම මුදල යොදා ගැනීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

එම ණය යෝජනා ක්‍රමය තව දුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස 2026 වර්ෂය සඳහා වන අයවැය මඟින් රුපියල් මිලියන 750 ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. 

ඒ අනුව, 4%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත්, ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් අදාලව සිය අමාත්‍යාංශය විසින් ගනු ලැබීමට සැලසුම් කර ඇති පියවරයන් පිළිබඳ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.