(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී. සුගතපාල)

බල්ලන් හා පූසන් වැනි සතුන්ට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා ඇති කරන ක්ෂීරපායි සතුන්ගෙන්ද ජලභීතිකා රෝගය ඇතිවීමට හැකි බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍ය නලීන් විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී අදහස් දක්වමිනි.

මියගිය එළුවන් දෙදෙනකුට හා ගවයෙකුට ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ  බවත් මෙවැනි සතුන්ගෙන් පවා මෙම මාරාන්තික රෝගය බෝවීමේ අවදානමක් ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

අසාදිත සතකු මිනිස් සිරුර ලෙවකෑමෙන් පවා රෝගය බෝවීමට ඉඩ ඇති අතර ඒවැනි අවස්ථාවක අදාල ස්ථානය  සබන් යොදා ගලා යන ජලයෙන් විනාඩි 10ක් පමණ හොඳින් සේදීම සිදු කළ යුතු බවත්  වෛද්‍යවරයා පවසයි.

සතකු සපා කෑම සිදුවුවහොත් අනිවාර්යයෙන්ම ප්‍රථිකාර සඳහා රජයේ රෝහලක් වෙත යොමුවිය යුතු බවත් සත්ත්ව නිශ්පාදන හා කෘෂිකාර්මික කටයුතු සඳහා ක්ෂීරපායී සතුන් යොදා ගැනීමේදී මෙම කරුණු සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වියයුතු බවත් වෛද්‍යවරයා පැවසුවේය.