ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහ සන්නද්ධ බලකාය විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලිය හෙට උදෑසන 9.00 සිට පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

තරග ඉසව් 22 කින් සමන්විත වන මෙවර තරගාවලියට යතුරු පැදි ධාවකයන් සහ මෝටර් රියදුරන් 200 කට පමණ ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.

සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා පවත්වනු ලබන තරගාවලි 5 න් 2 ක් මේ වන විට නිමාවී ඇති අතර කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය එහි තෙවැන්නයි. පසුගිය තරගාවලි දෙකට අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද (ලකුණු 38), යතුරු පැදි අංශයෙන් ගයාන් සඳරුවන්ද (ලකුණු 35) පෙරමුණට පැමිණ සිටිති.

මෝටර් රථ කණ්ඩායම් අංශයෙන් අශාන් සිල්වා සහ ඉර්ෆාන් ෆෝර්ඞ් නියෝජනය කරන මාග්නි රේසිං කණ්ඩායමත්, යතුරු පැදි අංශයෙන් ගයාන් සඳරුවන් සහ ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් නියෝජනය කරන හොණ්ඩා කණ්ඩායමත් පෙරමුණේ පසුවෙති.

පසුගිය වසරේ කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේ හොඳම රියදුරා බවට පත්වූ අශාන් සිල්වාට මෙවර තම ශූරතාවය රැකගැනීමට පසිඳු පීරිස්, දිනේෂ් දෙහෙරගොඩ, අරවින්ද පේ‍්‍රමදාස, ජනක ඩයස්, රියාස් ෆාරුක් වැනි ප‍්‍රබල තරගකරුවන්ගෙන් තරමක අභියෝගයක් එල්ල වනු නොඅනුමානය.

'ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්' තරගාවලියේදී මෙන්ම ‘සීගිරි රැලි ක්‍රොස්’ තරගාවලියේද හොඳම මෝටර් රථ ධාවකයා බවට පත්වී තිබීම අශාන්ට යම් තරමක වාසිදායක තත්වයකි.

මෙහි පසුගිය වසරේ හොඳම යතුරු පැදි ධාවකයා සහ ජාතික ශූරයා වූ ගයාන් සඳරුවන්ට මෙවර අභියෝග කිරීමට සිටින කී‍්‍රඩකයන් අතරේ ෂෙහාන් සී. අධිකාරි ඉදිරියෙන්ම සිටී.

ටි. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරු පැදි කණ්ඩායම මේ වන විට තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර ඇති හෙයින් ඔවුන්ගේ පැමිණිමද ගයාන්ට තරමක හිසරදයක් වනු ඇත. යොවුන් යතුරු පැදි ධාවක ඉශාන් දසනායකද ටි. වී. එස්. කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ඇතිවී තිබෙන ආබාධ තත්වයක් හේතුවෙන් තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයක පවතී.

ශෙහාන් සී අධිකාරි පසුගිය අපේ‍්‍රල් මාසයේ පැවති 'ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්' තරගාවලියේ හොඳම යතුරු පැදි ධාවකයා බවට පත්වූ අතර, අනතුරුව මැයි මාසයේ පැවති 'සීගිරි රැලි ක්‍රොස්' තරගාවලියේ හොඳම යතුරු පැදි ධාවකයා බවට පත්වූයේ ගයාන් සඳරුවන්ය. ඒ අනුව මෙම කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේදී මොවුන් දෙදෙනා අතර ඉතා උණුසුම් තරගයක් බලාපොරොත්තු විය හැක.

සුපිරි යතුරු පැදි තරග ඉසව්ව මෙවර කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුටම විවෘතව පවතින අතර උදේශ් වෙඩිසිංහ, ආනන්ද වෙඩිසිංහ, සුරාජ් පෙරේරා, තුසිත ගුණසේකර සහ උදික ශ්‍රීමාල් මලවිගේ ඒ අතර ඉදිරියෙන්ම සිටිති.