(සුජිත් හේවාජුලිගේ)

විදුලි බල හා බලශක්ති හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව පෙරේදා (13) පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර සාක්ෂි සටහන් කර ගත්තේය.

කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුව ඇය එම කොමිසම හමුවේ පෙනී සිටියාය.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම ඇයගෙන් සාක්ෂි සටහන් කර ගත් පළමු අවස්ථාව මෙයයි.

කොමිසම මෙයට පෙර ඇයගෙන් කටඋත්තරයක් සටහන් කර ගන්නා ලදි.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් 70 කට ආසන්න පිරිසකගෙන් දැනට සාක්ෂි සටහන් කරගෙන ඇත.

එමෙන්ම කටඋත්තර සටහන් කරගෙන ඇති සංඛ්‍යාව 370 කි.

කොමිසමේ අවසන් වාර්තාව මෙම මස අග ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.