(අංජුල මහික වීරරත්න)

නව්‍ය ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියේ දී කුවෙට් ශ්‍රී ලංකා  සබදතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව කුවේට් රාජ්‍යයේ 65 වන ජාතික දිනය උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

කුවේට් රාජ්‍යයේ 65 වන ජාතික දිනය සහ 35 වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන්  වු සැමරුම් උත්සවය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැත්විණි.

1971 පෙබරවාරි 19 දින ශ්‍රී ලංකාව සහ කුවේට්  රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එතැන් සිට වසර 55 ක් පුරා දෙරට අතර විශ්වාසය, ගෞරවය සහ සහයෝගීතාවය ශක්තිමත්ව පවතින බව ද අවධාරණය කළේය.

මෙම දිගුකාලීන මිත්‍රත්වය දෙරටේ සබඳතාවල ශක්තිය පිළිබිඹු කරන බවත්, ඉදිරි වසරවලදී මෙම සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අද වන විට ශ්‍රී ලාංකිකයන් 167,000 ක් පමණ කුවේට්හි ජීවත් වෙමින් සේවය කරන බව ද රැකියා අවස්ථා ලබා දීම සහ ශ්‍රී ලාංකික සේවකයින්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කුවේට් රජයට ස්තුතිය පළ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.