(දිනේෂ් උපේන්ද්‍ර)

යතුරුපැදියක් හා ඩිෆෙන්ඩර් රථයක්  ගැටී සිදුව තිබූ රිය අනතුර සම්බන්ධව අත්අඩංගුවට ගත්  ඩිෆෙන්ඩර් රථයේ රියදුරු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කුලියාපිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් බන්ධුල විජේසිංහ මහතා මුදාහරින ලෙස නියෝග කළේය.

මෙසේ ඇපමත මුදා හැරිය බිමල් තරංග විජේසිරි නමැත්තෙකි.

මුල් අවස්ථාවේදී රථය පැදවූ රියදුරු සම්බන්ධව මතුව තිබූ ගැටලූව හේතුවෙන් රථයේ ගමන්ගත් 14 හැවිරිදි දරුවකු සමගින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර වීඩියෝ දසුන් නිරීක්‍ෂණය කිරීමෙන් පසු රථයේ හිමිකරු එසේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධික වේගයෙන් නොසැලකිළිමත් ලෙසින් රිය පදවීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි.

එමෙන්ම සැකකාර රියදුරු නියමිත මාර්ගයෙන් දකුණු දෙසට ධාවනය කර තිබූ බවත් පැදිකරු ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ ධර්මරාජ මාවතට දකුණට හැරවීමට සංඥා පහන් දල්වා ඇති අවස්ථාවේදී එම ගැටීම සිදුව ඇති බවත් අධිකරණය හමුවේ පොලිසිය වැඩිදුරටත් කරුණු දැක්වීය.