(ඩයනා උදයංගනී)

ඉඩම් හා නිවාස නොමැතිවීම හේතුවෙන් අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා ‘කුලී සින්න’ නමින් නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ මහල් හතරකින් යුත් මහල් නිවාස සංකීර්ණ ඉදිකර, මූලික ගෙවීමක් නොමැතිව මාසිකව රුපියල් 15,000ක කුලී මුදලක් වසර 31ක් තුළ අයකරගැනෙන අයුරින් ලබාදීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  පැවසීය.

රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙහි පළමු අදියර යටතේ පළාත් මට්ටමින් නිවාස 464කින් සමන්විත නිවාස සංකීර්ණ නවයක් ඉදිකිරීමට නියමිතය.

දෙවන හෝ තුන්වන පරම්පරාවට නිවසේ අයිතිය පවරාදීමට හැකිවන පරිදි හා කිසිඳු හේතුවක් මත නිවාස විකිණීමට නොහැකි වන පරිදි ප්‍රතිලාභීන් සමඟ ගිවිසුමකට එළඹීමටත් හැකි පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇතැයි ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.