(විනීතා එම් ගමගේ)
ජීව කාලය අඩු ඖෂධ වර්ග තුනක් ඉකුත් වසරේ මෙරටට ගෙන්වා ඇතැයි ආනයන අපනයන පාලක ජනරාල් දෙපාර්තමේන්තුවේ සිදුකරන ලද 2018 වසරේ විගණන වාර්තාවේ සඳහන් වේ.
එන්නත් වර්ගයක් අධික වමනය පාලනය සඳහා දෙන ඖෂධ පෙත්තක් හා ශරීරයේ එක් ස්ථානයක් පමණක් නිර්වින්දනය කිරීම සඳහා භාවිතා වන ඖෂධයක් මේ අතර ඇත. එම නිර්වින්දන ඖෂධය බොහෝ විට භාවිතා වන්නේ අක්ෂි සැත්කම්වල දීය.
මෙරටට ඖෂධයක් ගෙන්වීමේ දී එහි ආයු කාලය 75% ක් තිබිය යුතු නමුත් මෙකී ඖෂධ වර්ග තුන ඉතා කෙටි ජීව කාලයක් තිබියදී මෙරටට ගෙන්වා ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
එම ඖෂධවල ජීව කාලය අඩු බැවින් බොහෝ විට කල් ඉකුත් වූ පසුවත් වෙළඳපොලේ තිබෙන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක කරයි.
මෙකී ඖෂධ ගෙන්වා තිබුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා පෞද්ගලික සමාගම් දෙකක් විසිනි.
මෙසේ ජීව කාලය අඩු ඖෂධ ගෙන්වන්නේ කවර වුවමනාවක් මත දැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ හදිසි අවශ්‍යතා සඳහා ගෙන්වීමේ දී මෙවැනි සිද්ධීන් සිදුවන බවයි.
එමෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ අවසරය මෙවැනි ඖෂධ වලට ලැබෙන බැවින් මෙසේ ජීව කාලය අඩු ඖෂධ ගෙන්වීම එම අධිකාරිය දැනුවත්ව සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.
ජීව කාලය අඩු ඖෂධ ගෙන්වීමෙන් සිදුවන්නේ බොහෝ විට රෝගීයා අතට ඖෂධය යන අවස්ථාව වනවිට එය කල් ඉකුත් වී තිබීම යැයි ද රෝගියා ළඟ තබාගන්නා ඖෂධයක් වුවහොත් එය කල් ඉකුත් වී අතුරු ආබාධ පවා ඇති වීමට එය හේතුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය යටතේ ජීව කාලය 75% කට අඩු ඖෂධ ගෙන්වීමට කිසිදු ඉඩක් ඖෂධ නියාමන අධිකාරියෙන් නොදිය යුතු යැයි ද එය අධිකාරිය විසින් අවධාරණය කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
බේත් හේත් එක්ක හොර වැඩ කරන වංචනිකයන්ට උපරිම දඩුවම් දෙන්න.
බෙහෙතේ නම කියන්න... අනිත් කුණුගොඩවල් ඔහෙලා බේරගන්න.
අපේ දත් දොස්තර මේකට මොනවා කියයිද දන්නේ නෑ. කොමිස් කුට්ටිය වැඩි නම් කට පියා ගෙන ඉඳියි.
කලින් හිටපු අයගේ වැඩවල ප්‍රතිඵල
පෞද්ගලික රෝහල් වලට රෝගීන් ගෙන්වා ගැනීමට රජය විසින් ගෙන්වන බෙහෙත් රෝගීන්ට නොදී බෙහෙත් හිඟයක් ඇති කරන්නේ GMOA හොර නඩයයි.
ඔක්කොම කුණු බේරුවල් බොක්කට දමන එක හරිද? මේ බෙහෙත් මාෆියාව හැම ආණ්ඩු කාලෙකම තිබුනා. ආණ්ඩු මාරු වුනාට දොස්තරලා හෝ ගෙන්වන නිලධාරී මාරු වෙන්නේ නැහැ. අනික ඇමතිවරු හැම විෂයක්ම දන්නා අයද? හොඳ නීති රීති පිළිපදින්න නියම කර ඒවා කඩකරන අයට තරාතිරම නොබලා දඬුවම් කළොත් මේවා නවතිනවා. නැතිනම් ඉතින් හොරු හම්බකරන එක නවත්වන්න කොයි ආණ්ඩුව ආවත් බැහැ.
මේක තනිකරම මාෆියාවක්. මුළු ලෝකෙන්ම ලාබදායක ජාවාරම් වෙන්නේ ආයුධ සහ බෙහෙත්. වෙන්නේ මේකයි ආණ්ඩුවේ තියන ටෙන්ඩර් පරිපාටි, දහසක් නීති හින්ද ස්වාභාවිකවම බෙහෙතක් ගෙන්නන එක ප්‍රමාද වෙනවා. මේක දඩමීම කරගෙන "අදාළ උදවිය " අන්තිම මොහොත වෙනකම් ඉඳලා " හදිසි මිලදීම් ගැනීම් " කරනවා . එතකොට අර බෙහෙත් දෙන කොම්පැනි ළඟ තියන " ජීව කාලය "ඉකුත් වෙන්න ලන්වෙච්ච තොග පිටින් එවනවා අදාළ උදවියගේ සාක්කු වලට ගානට ගතමනාව යනවා.
රාජිත සම්පුර්ණයෙන් වගකිවයුතුයි.