(යොහාන් භාසුර)

පැළියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපලේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙක් කේරළ ගංජා කිලෝ හතරකට අධික තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 542 ක් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත සැකකාර පොලිස් නිලධාරියා කේරළ ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 191 ක් සමග රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම පුද්ගලයන් දෙදෙනා සතුව තිබූ කේරළ ගංජාවල වටිනාමක රුපියල් ලක්‍ෂ 30 ක් පමණ බව කී පොලිසිය එහිදී ජංගම දුරකථන දෙකක් සහ යතුරුපැදියක් ද බාරයට ගත් බව ද සඳහන් කළේය.

සැකකාර පොලිස් නිලධාරියා වරකපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙක් බවත්  සැකකරුවන් දෙදෙනා සහ භාණ්ඩ වැඩිදුර පරීක්‍ෂණ සඳහා මට්ටක්කුලිය සහ රාගම යන පොලිස් ස්ථානවලට බාරදුන් බවත් පොලිසිය වැඩි දුරටත් කීය.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ.එස්. සිල්වෙස්ටර් මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මට්ටක්කුලිය සහ රාගම යන පොලිස් වසම්වල කළ මෙම වැටලීම ක්‍රියාත්මක කළේය.