සිරංගිකා ලොකුකරවිට
අප්‍රේල් පළමු සතියේ සිට අද (27) දක්වා කරාපිටිය රෝහලේ මියගිය දරුවන් නම දෙනකුගෙන් හත් දෙනකුගේ මරණ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වාර්තා ලැබී අති බවත් ඔවුන් මිය ගියේ ඉන්ෆ්ලුවන්සා තත්ත්වය හේතුවෙන් පමණක් නොවන බව තහවුරු වී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා අප කළ විමසීමක දී පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (26) සහ අද (27) කරාපිටියේ දී තවත් දරුවන් දෙදෙනකු මිය ගොස් ඇතත් ඔවුන්ගේ මරණ සම්බන්ධ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.
වෛද්‍ය විජේසූරිය මහතා පවසන්නේ මරණ සම්බන්ධයෙන් වාර්තා ලබාගෙන ඇති දරුවන් හත්දෙනාගෙන් එක් අයකු වයස අවුරුදු 2 ක් හා මාස හතක වයසේ පසුවන පෙර පාසල් යන දරුවකු වන අතර අනෙක් දරුවන් සියළු දෙනාම මාස 6-11ත් අතර වයසේ පසුවන බවයි.
ඒ දරුවන් අතරින් පස් දෙනකු උත්පත්තියෙන් ම සංජානනීය ආබාධ සහිත දරුවන් බව ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. තවත් දරුවකු වර්ධනය හීන වූ දරුවකු බවත්, අනෙක් දරුවා අඩු වයසින් උපත ලැබූ දරුවකු බවත් හෙතෙම පැවසීය.
මියගිය එම දරුවන් හත් දෙනාගෙන් සිව් දෙනකුම මීට පෙර අවස්ථාවල දී ද ස්වසනාබාධ හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ඇත. වෛද්‍ය විජේසූරිය මහතා තවදුරටත් සඳහන් කළේ මියගිය එම හත් දෙනාගෙන් සිව් දෙනකු ඇඩිනෝ වෛරසයට ගොදුරුවීම හේතුවෙන් මරණයට පත්ව ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් තහවුරු කර ඇති බවයි.
ඇඩිනෝ වෛරසය හා ශ්වසන පද්ධතියේ සංකූලතා හේතුවෙන් එක් දරුවකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇත. තවත් අයකුගේ මරණයට හේතු වී ඇත්තේ ඇඩිනෝ වෛරසය හා බැක්ටීරියාවක් බව ද තහවුරු කරගෙන ඇත.
වෛද්‍ය විජේසූරිය මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
''ඉන්ෆ්ලුවන්සා රෝගය දකුණු පළාතේ දක්නට ලැබෙනවා. කුඩා දරුවන්ට මෙය දරුණු තත්ත්වයකට හේතු විය හැකි බව වෛද්‍ය අංශ ප්‍රකාශ කළා. මියයන සෑම දරුවකුගේම මරණයට හේතුව ඉන්ෆ්ලුවන්සා රෝගය යැයි ප්‍රචාරය කිරීම වැරදියි. එයින් අනවශ්‍ය බියක් ඇතිවනවා වගේම නිවැරදි ප්‍රතිකාර ලබාදීමේත් ගැටළු ඇතිවනවා.
දැනට මියගිය දරුවන් අතරින් හත් දෙනකුගේ සම්පූර්ණ වාර්තා ලැබී තිබෙනවා. ඒ අනුව පැහැදිලියි ඔවුන්ගේ මරණවලට හේතුවී ඇත්තේ තනිකරම ඉන්ෆ්ලුවන්සා වෛරසය නොවන බව. යම් කෙනකු කියනවා නම් මේ තත්ත්වයට ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාදීම සුදුසු යැයි කියා එය දින ගණනක් නිරාහාරව සිටි කෙනෙකුට කෑම දෙන්නේ නැතිව වතුර දෙනවා වගේ වැඩක්.
ඉන්ෆ්ලුවැන්සා එන්නත ලබාදීමෙන් මේ තත්ත්වය පාලනය කරන්න බෑ. මේ දේවල් ගැන නිවැරදි ආකාරයෙන් දැනුම්වත් විය යුතුයි. දැන් වැඩිහිටියන් රෝහලට පැමිණීම අඩුවෙලා තියෙනවා. කුඩා ළමුන් රෝහල් ගත කිරීම තවමත් එලෙසම සිදුවනවා. කෙසේ වෙතත් සෘතුමය සම්බන්ධතාවක් තිබෙන මේ ඉන්ෆ්ලුවන්සා රෝගයෙන් වැළකී සිටීමට කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ රෝගය සඳහා ඉන්ෆ්ලුවන්සා - 2018 එන්නත ලබාදුන්නත් රෝගය වැළඳීමට ඉඩ තිබෙනවා."
වසංගත රෝග විද්‍යා ඒකකය ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය පිළිබඳ දිගින් දිගටම සොයා බලා එය පාලනය කිරීමට කටයුතු කරන බවත් හෙට (28) දිනයේ ද කණ්ඩායමක් දකුණට පැමිණීමට නියමිත බවත් වෛද්‍ය විජේසූරිය මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් මේ ළදරුවන්ට ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලඳුනේ නැත්නම් මියයන්නේ නැහැ නේද? මෙයාලා කියන්නේ මෙවැනි දුර්වලතා ඇති කෙනෙක් වාහනයකට හැප්පිලා මැරුණත් එකට හේතුව ඒ රිය අනතුර පමණක් නෙමෙයි කියලද?
අපේ රටේ දොස්තරවරු අනේ මොන තරම් මහන්සි වෙනවද අසරණ රෝගීන් බිල්ලට තියලා ඒගොල්ලන්ගේ ඉල්ලීම් දිනා ගන්න. ඒගොල්ලන්ගේ වෘත්තියමය රාජකාරියවන මෙවැනි රෝග නිවාරණ කටයුතු ගැන දශමයකින්වත් හොයලා බැලුවොත් මොන තරම් අගේද. අපේ රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වචනයට පමණක් සීමා වී ඇත. මෙම අංශ දෙකම මුදල් මතම සීමා වී ඇත.
ඉතින් මොනා වුනත් ළමයි බෙර ගන්න ඕනේ නේද මහත්තයෝ. දොස්තරද කොන්දොස්තරද මේ කතාව කියලා තියෙන්නේ ?
මේ ඔක්කොම පල් බොරු. පව්, අහින්සක දරුවෝ. මේවට වග කියන්න ඕන වෙන කවුරුත් නෙවේ, රටේ සියලුම පාලකයෝ. උන් සෑප වින්දිනව. අහිංසක නොදරුවො මැරෙනව. රෝහල්වල අවශ්‍ය බෙහෙත් පහසුකම් නෑ. නවතන් පහසුකම් නෑ. කිසිම අවශ්‍ය පහසුකමක් නෑ. මහජනතාව රවට්ටන අයට නම් හොදක් වෙන්න නෑ.