(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ මහරගම, අපේක්ෂා රෝහලේ ඇතැම් ප්‍රතිකාර කටයුතු ලබන මස 1 වැනිදා සිට යළිත් ආරම්භ කරන බව එහි අධ්‍යක්‍ෂ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලංකාදීපයට පැවසීය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශවලින් ගෙන්වන ඖෂධ ආදිය ගෙන්වා ගැනීමට නොහැකි වූ නිසා නවත්වා තිබූ අයඩීන් ප්‍රතිකාර, පෙට් ස්කෑන් කටයුතු ආදිය ඒ අනුව යළි ආරම්භ කරන බව කී අධ්‍යක්‍ෂවරයා පසුගිය කාලයේ ගුවන් ගමන් නැවතීම නිසා ලැබීම ප්‍රමාද වූ ඖෂධ ද මේ වන විට රෝහලට ලැබෙමින් පවතින බව සඳහන් කළේය.

තයිරොයිඞ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇති රෝගීන්ට ලබාදෙන අයඩීන් ප්‍රතිකාරය පසුගිය කාලයේ නවත්වා දමන්නට සිදුවූයේ ඊට අවශ්‍ය අයඩීන් නිපදවන බ්‍රිතාන්‍ය සමාගම කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේදී වසා දමා තිබූ නිසා බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම පෙට් ස්කෑනර් යන්ත්‍රය භාවිතා කිරීමට අවශ්‍ය එෆ්.ටී.ජී නැමති රසායනිකයේ ආයු කාලය ඉතා කෙටි බැවින් එය දෛනිකව ඉන්දියාවේ සිට විශේෂ තත්ත්ව යටතේ ගෙන්වන්නට සිදුව ඇති බවත් ගුවන් ගමන් ඇණහිටීම නිසා එය ගෙන්වන්නට නොහැකිවීමෙන් පෙට් ස්කෑන් පරීක්‍ෂණ මාස තුනක පමණ කාලයක් නවතා තිබූ බවත් වසන්ත දිසානායක මහතා කීවේය.

එමෙන්ම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හතක් පමණ රෝහලේ නොමැතිවීමෙන් ද ගැටලුවක් මතුව තිබූ නමුත් මේ වන විට එම ඖෂධ සියල්ල ලැබෙමින් පවතින බව ද අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය.

විශේෂයෙන්ම පියයුරු හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධය දියකිරීමට අවශ්‍ය ද්‍රාවකය නොමැතිවීමෙන් එම ඖෂධය රෝගීන්ට ලබාදීමට නොහැකි වූ බවත් එයද මේ වන විට රෝහලට ලැබී ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

ඇතිවූ ගැටලු සියල්ලට හේතුව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මතුවූ අර්බුදය බව කී ඇමතිවරයා එම ගැටලු මගහැරවීමට ක්‍රමයක් නොතිබූ නමුත් රෝගීන්ට හැකි උපරිම ප්‍රතිකාර ලබාදීමට අපේක්‍ෂා රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත් බව ද පැවසීය.

එමෙන්ම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බාහිර පරිසරයට යාම අවදානම් බැවින් බොහෝ රෝගීන් දිගු කාලයක් රෝහලේ සිටි බව කී අධ්‍යක්‍ෂවරයා ඒ සියලු දෙනාට හැකි අයුරින් පහසුකම් සැලසූ බව ද ප්‍රකාශ කළේය.