(අංජුල මහික වීරරත්න)

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බව පැවසු ජනාධිපතිවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදී වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම ඉන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේ දී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගැනීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

රටේ නව ආර්ථිකයක් ගොඩනඟමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලද දක්ෂතා දක්වන ජාතියක් බවට ශ්‍රී ලංකාව නැවත පත්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.