
(අංජුල මහික වීරරත්න)
කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත.
කීරි සම්බා සහල් ප්‍රමාණවත් තරම් වෙළඳපොළේ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් මෙම නිර්දේශය නිකුත් කර තිබේ.
මෙලෙස ආනයනය කෙරෙන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබේ.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා වන කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි.
පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
ඒ අනුව, දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120ක මිලකට වී අලෙවි මණ්ඩලයෙන් හා සතොස ආයතනයෙන් මිලදී ගැනීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාමටද තීරණය විය.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිගු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම, බියර් සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද මෙහිදී කතිකාවට බඳුන් කෙරිණි.
පාරිභෝගික අවශ්‍යතාවට අනුව බඩඉරිඟු නිෂ්පාදනය, ටින් මාළු, බිත්තර සහ මාංශ නිෂ්පාදනය සහ ලුණු ආනයන කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
පොහොර ආනයනය, තොග පවත්වා ගැනීම, සැපයීම සහ බෙදාහැරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, යල කන්නය සඳහා පොහොර බෙදා දීමේ ප්‍රගතිය, ඔඩපන ණය නිකුත් කිරීමේ ප්‍රගතිය සහ යල කන්නයේ වගා කටයුතුවල සාර්ථකත්වයද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය වී ගොවියා ආරක්ෂා කරන්න එක හාල් ඇටයක් ආනයනය කරන්නේ නෑ කියලා පච අනුර ඡන්දෙට කලින් බෙරිහන් දුන්නා. දැන් කෙඳිරිගානවා.
කයිවාරූ වසන්ත කීවා නේ ද ආයෙත් හාල් ගෙන්වන්න ඕන නෑ කියලා.
ගොවියෝ ආරක්ෂා කරන්න කිය කියා පිටරටින් ගෙන එන සහල් වලට ලොකු ලොකු තීරුබදු ගහන එක තමා හැමදාම කලේ... නමුත් ඒකෙන් පෝසත්වුනේ ඩඩ්ලි සිරිසේන වැනි පුද්ගලයින්, කරුණාකර දුප්පත් පාරිභෝගිකයා ගැනත් සිතන්න රටින් ගෙන එන සහල් වලට ගහන 50% බද්ද 10% දක්වා අඩු කරන්න. මෙහෙම බදු ගහලා රටක් දියුණු කරන්න බැහැ... ආහාර ඇතුළු හැම දේකටම අධික ලෙස තීරු බදු ගහනකොට රටේ ජීවන වියදම වැඩිවෙලා දුප්පත් මනුස්සයා කබලෙන් ලිපට වැටෙනවා...
මාන්නයෙන් ඔළුව උදුම්මාගෙන දේශීය ව්‍යාපාරකයින් ට කෙළින්න හැදුවා. කරන්න ඕනෑ ඒ අය සමග සහයෝගයෙන් කටයුතු කිරීම. ඔවුන් රටට විශාල සේවයක් කරනවා. දැන් හාල් රටින් ගෙන්වලා වැඩේ ගොඩ දාගන්න දඟළනවා. අත තබපු තැන හත්පොලේ ගාගන්නවා...
කීරි සම්බා නැතිවුනාට කැඩුනු කීරි සම්බා සුපිරි වෙළෙඳ සැල්වල පුරවලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද?
කීරි සම්බා සමග දියවැඩියාවට බෙහෙත් වැඩිපුර ගෙන්න ඕනේ ඉස්සර කීරිසම්බා කෑවේ නෑ. මෑත කාලේ තමයි කන්න ගත්තේ රසයට කාලා සීනි කියලා බෙහෙත් බොනවා...!