සෑම වර්ෂයක ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරි කුරුල්ලන් අතර නිල් පෙඳ බිඟුහරයා සුලබව දක්නට ලැබෙන පක්ෂියෙකි.
වලිගය නිල් පැහැති වීමත් බිඟුන් හෙවත් මී මැස්සන් ආහාරයට ගැනීමත් හේතුවෙන් මේ කුරුල්ලා හඳුන්වන්නේ නිල් පෙඳ බිඟුහරයා යනුවෙනි.
ඉංග්‍රීසි බසින් ‘‘බ්ලූ ටේල්ඩ් බී ඊටර්“ ලෙස හඳුන්වන මේ කුරුල්ලන් සත්ත්ව විද්‍යාත්මකව මෙරොප්ස් පිලිපීනස් (Merops philippinus) ලෙස හඳුන්වයි. මේ පක්ෂි විශේෂය ඉතා ශක්තිමත් හා ප්‍රබල පර්යටන පක්ෂියකු හෙවත් නිහැරි කුරුල්ලකු ලෙස පිලි ගනී.
ඉතා වර්ණවත් කුඩා පක්ෂියෙකි. විශාලත්වය සේන්ටිමීටර 23-25ක් පමණය. සිරුරේ වැඩිපුර දක්නට ඇත්තේ කොළ පැහැයයි. ඇස අසළ කළු රේඛාවකි. ගෙල යට පෙදෙස කහ සහ දුඹුරු පැහැති මිශ්‍රව දක්නට ලැබෙයි.
වලිගය මැදින් දික්වූ නිල් පැහැති පිහාටු දෙකත් වර්ණවත් බවත් හේතුවෙන් මේ කුරුල්ලා පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබේ.
මීමැස්සන් මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන අතර අනෙක් කෘමි වර්ග ද ආහාරයට ගනී. මොවුන් ආහාර ගැනීමේ විශේෂත්වයක් වන්නේ අල්ලාගන්නා මී මැස්සා හෝ බඹරා තදින් අත්තක ගසා ඔවුන්ගේ විෂ කෝෂය ඉවත්කැර ගිල දැමීමේ සුවිශේෂී හැකියාවයි.
ශ්‍රී ලංකාවට පැමිණි පසු නගරබදව පවා බහුලව දක්නට ලැබෙන නිල් පෙඳ බිඟුහරයා රාත්‍රියේ දී රංචු වශයෙන් ලැගුම් ගනී.
බිත්තර දැමීම සඳහා පොළොව හාරා කුඩා උමගක් සාදා ගන්නා මොවුන් වරකට බිත්තර පහක් හෝ හතක් දමයි. ඒවා සුදු පැහැතිය. වටකුරුය. කුමන ප්‍රදේශයේ දී මොවුන්ගේ කැදලි හමුවී ඇති බැවින් දිගටම මෙරට වාසය කරන නිල් පෙඳ බිඟුහරයන් සමූහයක් සිටිතැයි පරිසරවේදීන්ගේ මතයයි.
මෙවර සංචාරක පක්ෂීන්ගේ පැමිණීම සනිටුහන් කරමින් දැනටමත් නිල් පෙඳ බිඟු හරයන් මෙරටට පැමිණ ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ දැන් සංචාරක පක්ෂි සමය ඇරඹී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරු කියන්නෙ ස්භාවික පරිසර පද්දති වල ප්‍රදාන පුරුකක්. බඹරු, මී-මැස්සො නැති ලොකෙක පැවත්මක් නෑ. (හේ)
ඔබේ පුවත්පතේ මේ කුරුල්ලා ගැන විස්තරයක් පළකිරීම ගැන මම ඉතා සතුටුවෙමි. බොහෝ දෙනෙකුට අපේ පරිසරය කුරුල්ලන් ගැන තිබෙන දැනුම ඉතා අඩුයි. නිතරම පරිසරය ගැන කුරුල්ලන් සහ අනෙක් සතුන් ගැන මහජනයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතියි (නි)
පරිසරය සමබර වීමට සියලු සතුන් සිටිය යුතුයි. ස්වභාවධර්මය විසින් සත්ව ලෝකය පාලනයවේ.(හේ)
මේ කුරුල්ලා මී මැස්සො ආහරයටනම් ගන්නේ මේ අය ගැන පරිසර වේදින් වැඩි අවදානයක් යොමු කරන්න වේවී. මේ අයගෙන් මී මැසි පරපුර බේරා ගන්නට.(හේ)
මෙවැනි කුරුල්ලන් (හෝ ඊට සමාන ස්වභාවික ක්‍රමයක්) මගින් රටේ උද්ගතව ඇති බඹර ප්‍රහාර වලින් කුඩා දරුවන් හා ජනතාව බේරාගන්න පුළුවන්. (හේ)
සිංහල භාෂාව තරම් අලංකාර භාෂාවක් ලොව කොහෙවත් නැත. හැම වචනයකම ඇති අර්ථවත් බව මේ පක්ෂියාට ඇති නමින්ම මනාවට ඔප්පු වේ.(හේ)
පුදුම එකෙක්නේ මූ! (නි)