(මනෝප්‍රිය ගුණසේකර)

සැකකටයුතු අන්දමින් මියගොස් ඇතැයි කියන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මෘතදේහය සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා මරණයට හේතු අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොල්ලුපිටිය පොලිසියට අද (08) නියම කළේය.

කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන මියගොස් සිටියදී කපිල චන්ද්‍රසේන මහතාගේ මෘත දේහය සොයාගත් බවත් අදාළ මරණය සැකකටයුතු බවත් දැනුම් දෙමින් කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් බලඇණියක් සඳහා යානා 10ක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව ඇප නියම කිරීමේදී තමන් නොහඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඇපකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටියදී ඔහුගේ මෘත දේහය පොලිසිය සොයා ගෙන තිබිනී.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු කපිල චන්ද්‍රසේන නමැත්තාගේ මරණය සැකකටයුතු මරණයක් ලෙස සලකා ඉදිරි විමර්ශන කරන්නේ යැයි දැනුම් දුන්හ.