( +++ ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10 ක් මිල දී ගැනීමේදී ඩොලර් විසි ලක්ෂයක අල්ලසක් ලබාගන්නා ලදැයි ද මුදල් විශුද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධි සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටින ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි යන අය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ 7 බාන්ස් පෙදෙසේ පිහිටි ඔවුන්ගේ නිවෙස වෙත අවස්ථා කිහිපයකදීම ගොස් ඇතත් ඔවුන් දෙදෙනා නිවෙසේ සිට නොමැති බවද පොලිසිය පවසයි.

ඔවුන් කුමන ප්‍රදේශයක රැඳී සිටිනවාද යන්න හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මොවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති හෙයින් ඔවුන්ට විදේශගතවීමට හැකියාවක් නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම යුවළ අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉකුත් 3 වැනිදා නියෝගය නිකුත් කර තිබිණි.