(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ලේඛන,සහතික සත්‍යාපනය කිරිමේදී අයකරනු ලබන අදාල ගාස්තු එළඹෙන ජනවාරී මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ගැසට්  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සත්‍යාපනය කිරීමේදී  රුපියල් 800 ක මුදලක් ද, විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද  ඕනෑම ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 3000 ක මුදලක්ද, යම් අපනයන ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 8000 ක මුදලක් ද, වෙනත් යම් ලේඛනයක්  සත්‍යාපනය කිරීමේදී රුපියල් 1200 ක මුදලක් ද නව සංශෝධිත ගාස්තු යටතේ අයකරන බව එම නිවේදනය දැක්වේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් සදහා අදාළ වන සංශෝධිත ගාස්තු දැනගැනීම සදහා  2022.11.16 දිනැති අංක 2306/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අවධානය යොමු කරන ලෙස එම නිවේදනයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබා දී ඇත.