වනජීවි දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරිහු ඉකුත් 27 වැනිදා රටපුරා සංකේත වැඩ වර්ජනයක නියැලුණහ. ඒ වනජීවි හා වන සම්පත් රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ දී වනජීවි නිලධාරින්ට බැණ තර්ජනය කරන ලදැයි සඳහන් සිද්ධියට විරෝධය පාමිනි.
පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය කලක පටන් අනවසර වගාකරුවන්ගේ පරාදීසයක් බවට පත්ව තිබී ඇති අතර වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් මගින් එය වනජීවි දෙපාර්තමේන්තුවට පවරා ගෙන තිබේ. අප පුවත්පතට අනුව වනජීවි රාජ්‍ය ඇමතිවරයා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එහි නීරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර එහිදී රාජ්‍ය ඇමතිවරයා නිලධාරින්ගෙන් ඉල්ලා තිබෙන්නේ එම ඉඩම් යළි වගාකරුවන්ට නිදහස් කර දෙන ලෙසය. එහිදී වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම ඉල්ලීමට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇති අතර එය ‘‘වාග් සංග්‍රාමයක්’’ බවට පත්වී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් ‘‘සර් මේකට ඉඩදෙන්න එපා. මේක ජාතික අපරාධයක්’’ යැයි පවසද්දී රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ‘‘මම බබෙක්’’ නොවන බවය. මෙම සිද්ධියට අදාළ රූපරාමු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද විකාශය කෙරිණි.
වනජීවි දෙපාර්තමේන්තුවේ එක් ප්‍රධාන කාර්යයක් වන්නේ මෙරට වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමය. ඒ විවිධ මැරයන්ගේ, සංවිධානාත්මක කල්ලි කණ්ඩායම්වල හා අන්තවාදීන්ගේ ‘‘පහසු බිලි’’ බවට මෙරට වනාන්තර පද්ධතිය පත්ව ඇති හෙයිනි. පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ද එබඳු පහසු බිල්ලක් බවට පත්ව තිබිණි.
1984 වසරේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජය මෙම වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එම ජාතික වනෝද්‍යානයට අයත් භූමිය අක්කර 43375 කි. එම භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කළ ද අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගත නොහැකි විය. එහෙයින් වනජීවී දෙපාර්තමේන්තුව එම අපරාධකරුවන්ට එරෙහිව 2015 වසරේ දී නඩු පැවරූ අතර පොලොන්නරුව මහාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම ජාතික වනෝද්‍යානය වනජීවි දෙපාර්තමේන්තුවට නැවත පවරා දුන්නේය. අප පුවත්පතට ප්‍රකාශයක් දෙමින් වන සත්ව අඩවි සහකාර වෘත්තිය සංගමයේ නියෝජිත ඩබ්ලිව්.එම්.කේ. විජේකෝන් මහතා ප්‍රකාශ කර තිබුණේ ඒ වනවිටත් වනෝද්‍යානයේ අක්කර පන්දහසක් පමණ විනාශ කර ඇති බවය.
විෂය බාර අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ තම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, අධිකාරි, සංස්ථාවල නිලධාරින්ගෙන් හා සේවකයන්ගෙන් අවශ්‍ය කටයුතු කරවා ගැනීමය. වනජීවි දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ වනාන්තර ආරක්ෂා කිරීම නම් අදාළ අමාත්‍යවරයා කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් බාධක මැඬලමින් නිලධාරින් සේවකයන් දිරිමත් කිරීමය.
පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ජාවාරම්කරුවන්ගෙන් අපරාධකරුවන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම සුමට නොවීය. මන්ද යත් එම ජාවාරම්කරුවන්ට දේශපාලන බලයත් ආශිර්වාදයත් තිබේ. අවි ආයුධ ද තිබේ. මැර බලය තිබේ. ඔවුන් සමග ගැටෙන්නට යාම දින නියමයක් නැති මරණ සහතිකයක් ලියා සාක්කුවට දමා ගැනීමය. එහෙත් වනජීවි නිලධාරිහු දළ රළ පෙළක් සේ උස්ව නැඟෙමින් එම අපරාධකරුවන් සමග ගැටී ජාතිය සතු එම සම්පත රැක ගත්හ. එම නිලධාරීන්ට මුළු මහත් ජාතියේම ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමයත්, ප්‍රසාදයත් හිමි විය යුතුය. එහෙත් අප රටේ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අධිකරණය මගින් අත්පත්කර ගත් රට සතු මහරු සම්පත අනවසර වගාකරුවන්ට මුදා හරින ලෙසය.
ජනතාවට ද වගා කිරීමට ඉඩම් අවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා ජාතික වනෝද්‍යාන තෝරා නොගත යුතුය. වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වනජීවි රාජ්‍ය ඇමැතිවරයාගේ මූණටම කී පරිදි එය ‘‘ජාතික අපරාධයකි.’’ එහෙත් රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ එම ජාතික අපරාධයට ඉඩ ලබා දෙන ලෙසය. වගාව සඳහා ජාතික වනෝද්‍යානයක්ම තෝරා ගැනීමේ යම් අරමුණු තිබේ. අවසර ඉල්ලා සිටින්නේ වගා කිරීමටය. ගවයන් මුදා හැරීමටය. එයට අවසර ලැබුණු පසු වනාන්තරය විනාශ කිරීම, සතුන් මැරීම, මත්පැන් පෙරීම ආදි සියලු අපරාධ සිදුවීමට පටන් ගනී. අහිංසක ගැමියන් ඉස්සරහට දමාගෙන ජාවාරම්කරුවන් ක්‍රියා කරන්නේ එසේය.
පාසල් නොගොස් උපාධිය ගත් බව කියන වනජීවි රාජ්‍ය අමාත්‍යවරයාට තව බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙන සෙයකි. අවම වශයෙන් විල්පත්තු සංහාරයට අදාළව ලැබුණු නඩු තීන්දුව හෝ නැවත කියවා බලන ලෙස ඉල්ලා සිටීමට සිදු වන්නේ එහෙයිනි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූගත් මිනිස්සු සබේට යැව්වාම මේවට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්...?
ජනාධිපතිතුමා මේ ඇමතිවරයා හැසිරුණු ආකාරය මාධ්‍යවලින්වත් දුටුවද මන්දා? මේ වගේ ඇමතිවරු තව දුරටත් තියාගෙන හිටියොත් ජනාධිපතිතුමාටත් දෙයියන්ගේ පිහිටයි.
පරිසරය ගැන කතා කරලා අපිත් හිරේ හිටියා. පොලොන්නරුව විනාශ කරලා ඉවරයි. ගොඩක් රජයේ නිලධාරීන් තමයි වන විනාශ කරලා ඉඩම් අරන් තියෙන්නේ.
ඇමැතිවරුන් සඳහා වෙනම ඡන්දයක් තියන්න ඕනෑ. මොකද ප්‍රෙද්ශයකින් මිනිස්සු රවට්ටන් ඇවිත් ඇමැති කමක් ගත්තාම රටටම බලපාන නිසා එක්කෝ ඇමැතිවරු කළින් නම් කරන්න ඕනේ ජාතික ලැයිස්තුව වගේ... නැතිනම් ඇමැතිවරු තෝරන්න වෙනම ඡන්දයක් තියන්න ඕනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා නම් මේ කරුණ ගැන වැඩි අවධානයක් ගන්න ඕනෑ.
අපිට ඕනෑ මේ වගේ දක්ෂ, උගත්, බුද්ධිමත් ඇමැතිවරු. මේ නූගත් 8 පාස් නැති නිලධාරීන්ගෙන් රටට වැඩක් නැහැ.
ජනපති, අගමැති සහ අනෙක් සියලුම අයත් එකම තමයි.
මේ වගේ කතු වැකියක් ලියන්න තරම් හොද කොන්දක් තිබුන මේ කතුවරයාට මගේ ප්‍රණාමය...
කතුවැකියේ සඳහන් කරුණු කාරණා පිළාබඳව අප සතුටු වන්නෙමු. ඇත්තෙන්ම සෑම විනාශයක් පිටුපසම සිටින්නේ දේශපාලුවන් වන අතර ඒ සඳහා සෑම අතින්ම දායක වන්නේ නිලධාරීන් යයි කියන මලපෙරේතයින් නොවේද? එනමුත් අවංකව තමා සේවය කරන රජයේ නිලධාරින් නැතුවාම නොවේ. එවන් වැදගත් නිලධාරීන්ට යහපතක්ම වේවා...!!!
ගූගල් මැප් එකේ බැලුවා මේ ගමට දෙහිඅත්තකණ්ඩියේ සිට හොඳ පාරක් තියෙනවා...
ඇමති තොත්ත බබෙක් නොවී අලුගුත්තේරුවෙක් තමන්ගේ බලයට නිලධාරීන් යට කරගන්න හදන කෙනෙක්..
ජනාධිපතිතුමනි, ජනාධිපතිවරණයේදී ඔබ අපිට කිව්වේ 20/20 මැච් එකක් ගසා රට දිනවන බවයි. ඔබතුමා දැන් ගහන්නේ ටෙස්ට් මැච් එකක්. බලන්නත් කම්මැලියි. පේන විදියට ඔබතුමා මැච් එක පරදින සයිස් එකක් තමයි පේන්නෙ. ඔන්න හේතු. අපි කියන්න ඕනෙ නෑ. මේ ගොබ්බ නූගත් මැති ඇමතිලා ඉන්න තුරු ඔබතුමාගේ ගමන බොරු. කොටින්ම අයියත් එක්ක බෑ සර්...