(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සහ ගෙවල්  කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නීතිපතිවරයාට දුන් තොරතුරු අනුව,  පනත් කෙටුම්පත් ඒවායේ වර්තමාන ස්වරූපයෙන් ඉදිරියට නොයන බව කථානායකවරයා පැවසුවේය.
එම පනත් කෙටුම්පත් සලකා බැලීම සඳහා විශේෂඥ කමිටුවකට යොමු කර ඇති බවත් ඒවා නව පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇති බවත් කථානායකවරයා පැවසීය.පෙත්සම්කරුවන් සිය පෙත්සම් ඉල්ලා අස්කරගෙන ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධිමත් තීරණයක් ප්‍රකාශ කිරීම අනවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.