රුහුණු කතරගම මහා දේවාලයට අයත් බව කියන භානු නම් අලි පැටවා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ රැගෙන යෑමට තැත් කර ඇතැයි දැනගන්නට තිබේ.

2009 වසරේ දී දේවාලයට ලැබුණු ඇත් පැටවා ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ ගමක   ගාල් කරන බව කියමින් රැගෙන යෑමට උත්සාය කළ බව සඳහන්ය.

එලෙස ආ පුද්ගලයා ප්‍රභූවරයකුගේ පුත්‍රයකුගේ හිතවතකු බවත්, 2009 සිට 2011 වසර දක්වා අලියාගේ හිමිකාරත්වය සහිත බලපත්‍රයක් පෙන්වූ බවත් දැනගන්නට තිබේ.

2009 සිට මේ ඇත් පැටවා නඩත්තු කිරීමට හා ඇත් ගොව්වන් සඳහා කතරගම දේවාලයෙන් විදයම් කර ඇති බවත්, වෛද්‍ය පහසුකම් ආදිය ද දේවාල අරමුදලින් ලබා දී ඇති බවත් කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී පී කුමාරගේ මහතා කීවේය.

තමන් රාජකාරි අරඹද්දී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දේවාලයට අයත් චංචල හා නිශ්චල දේපල බාර දෙද්දී මේ අලි පැටවා ද තමන්ට ලබා දී තිබිය දී  වෙනත් පුද්ගලයකු පැමිණ අලියා රැගෙන යෑමට තැත් කිරීම නීති විරෝධී බව ද, වසර හතක් ඇත් පැටවා වෙනුවෙන් කළ වියදම් ගැන ගැටළු ඇති බැවින් මේ අලියා ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බව ද කුමාරගේ මහතා පැවසීය.