(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශපාලන පක්ෂ පාට භේද ඉක්මවා රටේ දිගුකාලීන  ප්‍රතිපත්තිමය දිශානතිය වෙනුවෙන් පොදු එකඟතාවයකට  පැමිණීම කාලීන අවශ්‍යතාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තුවේ ස්ථාපනය  කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අමතමිනි.

නිදහසින් පසු දක්ෂිණාංශික සහ වාමාංශික ලෙස ප්‍රතිපත්තීන් අත්හදා බැලූ ශ්‍රී ලංකාව දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් සඳහාවූ අවශ්‍යතාව මෙම ජාතික ස්වභාව තුළින් පිරවිය හැකි බව මෙහිදී සඳහන් කළ කතානායකවරයා රටේ ප්‍රගතිය මන්දගාමී වීමට මෙම ප්‍රතිපත්ති දෝලනයද බොහෝ සෙයින් හේතු වූ බව ප්‍රකාශ කළේය.

පවතින තත්වය යටතේ දේශපාලඥයන් මහජනතාව සමඟ වැඩිපුර සම්බන්ධවී  හැකිතාක් තොරතුරු ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු බවත් මහජන නියෝජිතයන් ලෙස මේ තත්ත්වය තේරුම් ගෙන අලුතින් සිතිය යුතු බවත් අබේවර්ධන මහතා පැවසුවේය.

යුද්ධ ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස හේතුවෙන් නුදුරේදීම ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුවී තිබෙන බව පැවසූ කතානායකවරයා  මෙවැනි අර්බුදයකට මුහුණදීමට රටක් වශයෙන් සූදානම් විය යුතු බවද ප්‍රකාශ කළේ‍ය.