(අංජුල මහික වීරරත්න)

මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටු වන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල භෞතික සහ මූල්‍ය ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සහ 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටුවන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව කොළඹ මහාධිකරණ සංකීර්ණය, අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය, ගාල්ල, මාතලේ, කන්තලේ ඇතුළු නව අධිකරණ සංකීර්ණයන්හි ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය. එමෙන්ම 2022 ආර්ථික අර්බුදය හමුවේ අතරමග නැවතුණු විනිසුරු නිල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 79ක වියදමින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව යටතේ මිලියන 38ක වියදමින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සාකච්ඡා විය.