(මොහොමඩ් ආසික්)

හෙරොයින් මිලි ග්‍රෑම් 110 ක් ළඟ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගත් සැකකරුවකු පොලීසියේ කූඩුවේ රැඳවා සිටියදී ඔහු බැලීමට පැමිණි ඔහුගේ මිතුරකු පරීක්ෂා කිරීමේදී ඔහු ළඟද හෙරොයින් මත් කුඩු තිබී සොයාගත් බව  පොලිසිය කියයි.

කටුගස්තොට රණවන පා‍රේ පදිංචි මෙම සැකකරු හෙරොයින් මිලි ග්‍රම් 110 ක් සමඟ කළුගලවත්ත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු පොලිසිය තුළ රඳවා සිටියදී ඔහු බැලීම සඳහා පැමිණි ඔහුගේ මිතුරකු බව කියන පුද්ගලයෙකු ගැන සැක සිතී පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 120 ක් පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තම මිතුරාට දීම සඳහා මෙම කුඩු ගෙන එන්නට ඇති බව පොලීසිය කියයි.

මෙහිදී එම මිතුරාද පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන දෙදෙනාම මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදරිපත් කිරිමට පියවර ගනු ලැබ තිබේ.