(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල)

මියගිය හමුදා සෙබළුන්ගේ දරුවන්ට පොත් හා පාසල් උපකරණ ලබා දීමට යැයි පවසා හමුදා නිල ඇඳුමින් සැරසී තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ ආධාර මුදල් එකතු කරමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරයකු  දෙහිවල මල්වත්ත පාරේ දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව ඇප මත සිටින්නන් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ලාන්ස් කෝප්‍රල්වරයා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රොක් හවුස් කඳවුරේ උපදේශකවරයකු ලෙස පසුගිය 31 වෙනි දින දක්වා සේවය කළ අයකු බවත් පොලිසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එලෙස එකතු කරන ලද රුපියල් 1050 ක මුදලක් හා මුදල් භාරගත්  බවට සටහන් කරන ලද පොතක් ද පොලිස් බාරයට ගෙන ඇත.

හමුදා ඇඳුම් ඇඳුමින් සැරසුණු පුද්ගලයකු තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ මියගිය හමුදා සෙබළුන්ගේ දරුවන්ට පොත් පත් සුළු පාසල් උපකරණ ප්‍රදානය කිරීම සඳහා මුදල් ආධාර එකතු කරන බවට දෙහිවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් . ඒ .ටි. සරච්චන්ද්‍ර මහතා වෙත ලද තොරතුරක් අනුව සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් පසුගිය දින කිහිපයේම දෙහිවල සහ අවට ප්‍රදේශය වල සැරි සරමින් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට ගොස් රුපියල් 20,000 කට ආසන්න මුදලක් මුදල් ආධාර එකතු කර තිබූ අතර සැකයක් ඇති නොවන පරිදි ලබා දුන් ආධාර මුදල පොතේ සටහන් කිරීමෙන් අනතුරුව ව්‍යාපාරික ස්ථානයේ නිල මුද්‍රාව ව්පා‍යාරිකයා ලවාම පොතෙහි තබා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.