(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය, පනාමුර පොලිස් වසමේ කැම්පනේ, අලුත්පාර ප්‍රදේශයේ අතුරු පාරක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පනස් හැවිරිදි තිදරු පියෙකුට අද (11) උදෑසන 08.00ට පමණ වෙඩිතබා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පැවසුවේය.

මෙසේ ඝාතනය කර ඇත්තේ  මල්පේ, කැම්පනේ, කලුගලහේන ලිපිනයේ පදිංචි දික්හේනගේ රාජා දයානන්ද (50) යන අයයි. ඔහු වෘතියෙන් ගොවියෙක් බව ද පොලීසිය කීවේ ය. 

මියගිය තැනැත්තා ඔහුගේ දරුවා මල්පේ මහ විද්‍යාලයට ඇරලවා ආපසු එමින් සිටිය දී මෙසේ ඝාතනය කර ඇති බව ද පොලීසිය කියයි. 

වෙඩි වැදුනු ස්ථානයේ සිට මීටර් දහයක් පහළොවක් ඉදිරියට ගොස් යතුරු පැදියත් සමග පාර අයිනේ බිම ඇදිවැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ද පොලිසිය පැවසුවේය. 

පනාමුර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.වි. රෝහණ මහතා ඇතුළු නිලධාරින් පරක්‍ෂණ පවත්වන අතර ඇඹිලිපිටිය පොලීසියේ ස්ථානීය අපරාධ ඒකකයේ (සොකෝ) නිලධාරින් ද පැමිණ පරීක්‍ෂණ ඇරඹූහ.