(විනීතා එම්. ගමගේ)
 
පී.සී.ආර් පරීක්ෂණ 1000 ක් කළ හැකි අංග සම්පූර්ණ රසායනාගාරයක් ඉදිරි දින කිහිපයේ දී කටුනායක ගුවන් තොටුපළෙහි ඉදිකිරීමට ජාත්‍යන්තර ශ්‍රමිකයන්ගේ සංගමය පියවර ගෙන ඇතැයි  එම සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී සරට් ධාෂ් මහතා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවේ පවසා තිබේ. 

නව රසායනාගාරයේ භාවිතා කිරීමට නව පී.සී.ආර්. යන්ත්‍රයක් ද ලබාදෙන බව සරට් ධාෂ් මහතා සඳහන් කර ඇත.   

මේ වනවිටත් රුපියල් මිලියන 45 ක් වටිනා කොරෝනා රෝග නිශ්චය යන්ත්‍ර හා උපකරණ කටුනායක ගුවන් තොටුපළට ලබා දී ඇති බවත්, මෙම නව පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය ලබාදෙන්නේ ඊට අමතරව බවත් සරට් ධාෂ් මහතා මෙම හමුවේදී ස‍ඳහන් කර ඇත.
 
ජාත්‍යන්තර ශ්‍රමිකයන්ගේ සංගමයේ  ශ්‍රී ලංකා ප්‍රධානී සරට් ධාෂ් සහ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු කම්කරු අමාත්‍යංශයේ දී හමුවී මේ පිළිබ‍ඳව සාකච්ඡා කළහ.
 
ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් 45,000 කට අධික විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටින බවත්, නිරෝධායනය සඳහා යොමුකරවීමට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට සෑහෙන කාලයක් ගතවිය හැකි බවත් සරට් ධාෂ් මහතා හමුවූ අවස්ථාවේ කම්කරු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
 
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බහුලව සිටින රටවලින් පැමිණීමට බලාපොරොත්තු වන අය ගෙන්වා ගැනීම සඳහා, ඒ ඒ රටවල තානාපති කාර්යාල සමඟ සහ ශ්‍රමිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා එහි දී පවසා ඇත.